ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානයක් වන (Coalition for Global Hepatitis Elimination - CGHE) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන් (Hepatitis Elimination Champions) අතරට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ (NSACP) විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් තේරී පත්ව තිබේ.
සත්‍යා හේරත් ඇගයීමට හේතු
ජූලි 28 වන දිනට යෙදෙන ලෝක හෙපටයිටිස් දිනයට සමගාමීව මෙම තේරී පත්වීම ප්‍රකාශයට පත් කර ඇති අතර, හෙපටයිටිස් තුරන් කිරීම සඳහා කැපවීම, මහජන දැනුවත්භාවය, ප්‍රතිපත්ති සංවර්ධනය, සේවා සැපයීම සහ තාක්ෂණික නවෝත්පාදන ඔස්සේ සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ලොව පුරා සිටින පුද්ගලයින් සිවුදෙනකු මෙම වසරේ ශූරයන් ලෙස නම් කර ඇත.
CGHE සංවිධානය සඳහන් කරන්නේ, ප්‍රජා මූලික සහ නව්‍ය සේවා ආකෘති හරහා අවදානම් ජනකොටස් වෙත සෞඛ්‍ය සේවා ළඟා කරවීම, හෙපටයිටිස් C රෝගීන් කල්තියා හඳුනා ගැනීම, ප්‍රතිකාර ආරම්භ කිරීම සහ සුවපත් වීමේ අනුපාතය ඉහළ නැංවීම සඳහා වෛද්‍ය සත්‍යා හේරත් (MBBS, MSc, MD) ලබාදුන් දායකත්වය මෙම ඇගයීමට හේතු වූ බවයි.
සත්‍යා හේරත් ගේ පුරෝගාමිත්වය
මෙම සම්මානය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට හිමි වූ වැදගත් ජාත්‍යන්තර පිළිගැනීමක් වන අතර, 2030 වන විට වෛරස් හෙපටයිටිස් තුරන් කිරීමේ ගෝලීය ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයන්ට ද ශක්තියක් වනු ඇත.
වෛද්‍ය සත්‍යා හේරත් මෙරට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ ප්‍රධාන අවදානම් ජනගහන වැඩසටහන සඳහා ජාතික වැඩසටහන් විශේෂඥ, වෛද්‍ය ලෙස කටයුතු කරයි.
මෙරට HIV, හෙපටයිටිස් B සහ C මෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) වැළැක්වීම හා ප්‍රතිකාර සඳහා නව්‍ය, ප්‍රජා මූලික ප්‍රවේශයන් හඳුන්වාදීමට ඇය පුරෝගාමී වී ඇත.
සියලු සේවා එක ම ස්ථානයකින්
2018 වසරේ සිට වෛද්‍ය සත්‍යා හේරත් ශ්‍රී ලංකාවේ "One Stop Shop" (එක් ස්ථානයකින් සියලු සේවා) ආකෘතිය සංවර්ධනය කිරීමට නායකත්වය ගෙන ඇත. එමගින් සෞඛ්‍ය අධ්‍යාපනය, හානි අවම කිරීමේ (Harm Reduction) සේවා, ස්ථානීය ඉක්මන් පරීක්ෂණ (Point-of-Care Testing), හෙපටයිටිස් ප්‍රතිකාර සහ මනෝසමාජීය සහාය යන සේවා එකම ස්ථානයකින් ලබාදීමට හැකි වී ඇත.
මෙම වැඩසටහන හරහා 2021දී ශ්‍රී ලංකාවේ ප්‍රථම කටු හා සිරින්ජ හුවමාරු වැඩසටහන (Needle Syringe Program) සහ 2022දී ප්‍රජා මූලික හෙපටයිටිස් C ප්‍රතිකාර සේවාව හඳුන්වාදීමට ද ඇය දායක වී ඇත.
මෙම වැඩසටහන් මඟින් ජීවිතාරක්ෂක සේවාවන් වෙත ප්‍රවේශය පුළුල් ව ඇති අතර, අවදානම් සහිත ජනගහනය අතර හෙපටයිටිස් C රෝගීන් හඳුනාගැනීම, ප්‍රතිකාර ආරම්භ කිරීම සහ සම්පූර්ණ සුවය ලබාගැනීමේ ප්‍රතිශත ඉහළ නැංවීමටද වැදගත් දායකත්වයක් ලබා දී ඇත.
CGHE සංවිධානයේ ප්‍රධාන කාර්යභාරය
වෛද්‍ය සත්‍යා හේරත් ප්‍රජා සම්බන්ධීකරණ (HIV/STI/වෛරස් හෙපටයිටිස්) සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) පාඨමාලා පිහිටුවීම සඳහා ද ප්‍රධාන විශේෂඥ දායකත්වයක් ලබා දී ඇති අතර "මා පිය සුමිතුරෝ" සංවිධානයේ Parentcraft වැඩසටහන හරහා ගර්භණී මව්වරුන් සහ ඔවුන්ගේ සහකරුවන් අතර HIV, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ වෛරස් හෙපටයිටිස් පිළිබඳ දැනුවත් කිරීම ද සිදු කරයි.
අධ්‍යාපනය සහ දැනුවත්භාවය ලබාදීම, රෝග වළක්වා ගැනීම, පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා බොහෝවිට නොසලකා හැරෙන ජනකොටස් වෙතද සේවා ළඟා කරමින්, වෛද්‍ය සත්‍යා හේරත් ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව වෛරස් හෙපටයිටිස් තුරන් කිරීමේ අරමුණ කරා ගෙන යෑමට අඛණ්ඩව දායක වෙමින් පවතින බව ද Coalition for Global Hepatitis Elimination - CGHE සංවිධානය පෙන්වා දෙයී.
Coalition for Global Hepatitis Elimination (CGHE) යනු ලොව පුරා වෛරස් හෙපටයිටිස් (විශේෂයෙන් හෙපටයිටිස් B සහ C) සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ සංවිධානයකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමග නිල සබඳතා පවත්වන The Task Force ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් ජාලය හරහා CGHE සංවිධානය ප්‍රධාන කාර්යභාර රැසක් ඉටු කරයි.
හෙපටයිටිස් බහුලව ව්‍යාප්ත වී ඇති අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, එම රටවල බිම් මට්ටමේ සෞඛ්‍ය පද්ධති සහ තාක්ෂණික මෙවලම් සංවර්ධනය සැපයීම, හෙපටයිටිස් වළක්වා ගැනීම, රෝග විනිශ්චය, එන්නත්කරණය සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ලොව පුරා පවතින සාර්ථක අත්දැකීම් සහ පර්යේෂණ දත්ත ජාත්‍යන්තර හවුල්කරුවන් අතර බෙදාහැරීම සඳහා පොදු වේදිකාවක් සැකිසීම, රෝගය තුරන් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා නව විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයවීම සහ රටවල් සඳහා අවශ්‍ය නව තාක්ෂණික උපදේශන සම්පත් (Technical Assistance Resources) නිර්මාණය කිරීම ඒ අතර වේ.
ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් - ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
