Image

සුරේෂ් සලේ ඉදිරිපත් කළ රීට් පෙත්සමට අද මොකද වුණේ...?

සුරේෂ් සලේ ඉදිරිපත් කළ රීට් පෙත්සමට අද මොකද වුණේ...?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (17) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලිණි.

එහි දී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණය හමුවේ චෝදනා කළේ, 2019 වසරේ ජනවාරි මස අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ මතවාදයන්ට අනුව කටයුතු කරන මෙරට පුද්ගලයින් 129 දෙනෙකු ගේ නම් ඇතුළත් ලැයිස්තුවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ බවත්, ඊට අදාළව එම දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂ ශානි අබේසේකර නිසි ක්‍රියාමර්ග කිසිවක් නොගත් බවත් ය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලිණි. පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ මෙලෙස කරුණු දැක්වීය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වග උත්තරකරුවන් කටයුතු නොකළේ ඇයි...?

"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් 129 දෙනෙකු ගේ නම් ලැයිස්තුවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ බවට ජනක් ද සිල්වා කොමිසමේ වාර්තාවේ සඳහන් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය එල්ල වුණේ 2019 වසරේ අප්‍රේල් මස 21 වනදා. නමුත් රාජ්‍ය බුද්ධි සේවය මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ 2019 වසරේ ජනවාරි මස 31 වැනිදා. එම නම් ලැයිස්තුව තුළ අයි. එස්. අයි. එස්. ත්‍රස්ත සංවිධානයේ මතවාද මෙරට තුළ ක්‍රියාත්මක කරන පුද්ගලයින්ගේ නම් එම වාර්තාවේ ඇතුළත් වුණා. ඔවුන් සිරියාව සහ තුර්කිය වැනි රටවලට ගොස් පුහුණුවක් ලබා තිබූ බවත් එහි සඳහන් වුණා. මේ තරම් විශාල තොරතුරු සම්භාරයක් ලැබී තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගනු ලැබූ පියවර කුමක්ද? ඊට අමතරව 2018 වසරේ පාකිස්ථාන බුද්ධි අංශය විසින් ද ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවට මෙරට ආරක්ෂක අංශ වෙත අනතුරු අඟවා තිබුණා. මෙතරම් තොරතුරු ලැබී තිබියදීත් සහරාන් හෂීම් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වග උත්තරකරුවන් කටයුතු නොකළේ ඇයි?"

යනුවෙන් ප්‍රශ්න මතුකළ ජනාධිපති නීතිඥවරයා මෙලෙස වගකීම් විරහිතව ක්‍රියා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යක්ෂවරයා වර්තමානයේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේ ය.

ඉන්දීය බුද්ධි අංශය ද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී තිබුණා

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙලෙස පැවසුවේ ය.

"පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2023 වසරේ තීන්දුවක් ලබා දී තිබුණා. එම නඩුකරයට එවක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ලබාදී තිබූ දිවුරුම් පෙත්සමක සඳහන් කර තිබුණා, 2017 වසරේ ඔක්තෝබර් මස 31 වනදා සිට ප්‍රහාරය සිදුවන අවස්ථා දක්වා සහරාන් හෂීම් ඇතුළු ඔහු ගේ අනුගාමිකයින් විසින් සිදූ කළ සහ සිදුකිරීමට සූදානම්ව සිටි අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තා 97ක් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ බව. එම වාර්තාවල පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබූ බවත් එහි සඳහන් වෙනවා. ඊට අමතරව මාවනැල්ල බුදු පිළිම ප්‍රහාර සිද්ධිය, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම වැනි සිද්ධි සමග සහරාන් හෂීම් ඇතුළු අනුගාමිකයන් සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබුණා. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු වන කෝනාර බණ්ඩාර විසින් එම කොමිසම හමූවේ ලබාදුන් සාක්ෂියක් මගින් සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් සිදුකළ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ බව සඳහන් කළා. ඔවුන් සැඟවී සිටින බව සැකකෙරෙන ස්ථාන පිළිබඳවත් තොරතුරු ලබාදී තිබුණා. එහෙත් ඒවා සම්බන්ධයෙන් වග උත්තරකරුවන් ක්‍රියාමාර්ග ගත්තේ නෑ. කොමිසම මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් එම නිලධාරියා 'අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුණා නම් පාස්කු ප්‍රහාරය ඇතිවෙන්නේ නෑ' කියා ප්‍රකාශ කර තිබෙනවා."

සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩි දුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ඉන්දීය බුද්ධි අංශය ද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී ඇති බව ය.

රවී සෙනවිරත්න කොමිසම හමුවේ කළ ප්‍රකාශය

"2019 වසරේ අප්‍රේල් මස 04 වැනිදා ඉන්දීය රෝ බුද්ධි අංශය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී තිබුණා සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ කිතුනු දේවස්ථාන, හෝටල් සහ ඉන්දියානු තානාපති කාර්යාලය වැනි ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවට. ඔවුන් එම ප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව සිටි විධික්‍රම පිළිබඳවත් ඉන්දීය බුද්ධි අංශ සඳහන් කර තිබුණා. පසුව මේ පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් පොලිස්පතිවරයාට සහ, පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුණා. එම ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ කාර්යාලයට යවා තිබෙන්නේ 2019 වසරේ අප්‍රේල් මස 09 වනදා. නමුත් එය රවී සෙනවිරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නාගහවත්ත වෙත යොමු කර තිබෙන්නේ 2019 වසරේ අප්‍රේල් මස 16 වනදා. එය නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අධ්‍යක්ෂවරයා වෙත යවා තිබෙන්නේ අප්‍රේල් මස 22 වනදා. ඒ කියන්නේ ප්‍රහාරය එල්ල වී පසුදා තමයි එම ලිපිය යවලා තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ජනක් ද සිල්වා කොමිසමට ප්‍රකාශයක් ලබාදී තිබුණා. ඔහු සඳහන් කර තිබුණා ජාත්‍යන්තර පොලිසියේ සම්මන්ත්‍රණයක් සදහා තමා 2019 වසරේ අප්‍රේල් මස 07 වනදා දිවයිනෙන් බැහැරව ගිය අතර යළි ශ්‍රී ලංකාවට පැමිණියේ අප්‍රේල් මස 13 වනදා බවට. යළි සේවයට වාර්තා කළේ අප්‍රේල් මස 16 වනදා බවත් ඔහු සඳහන් කර තිබුණා. එම ලිපිය රවී සෙනවිරත්න මහතා ගේ කාර්යාලයෙන් පිටතට ගොස් තිබෙන්නේ 19 වැනිදා. එම ලිපියේ සඳහන් සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වන විටත් දැන සිටි බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. 'මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගත හැකි පියවරක් නෑ.. ස්වාමීනී' යනුවෙන් රවී සෙනවිරත්න මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණා," යනුවෙන් චෝදනා කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මෙවැනි පුද්ගලයින් පාස්කු ප්‍රහාර සිද්ධිය පිළිබඳව වර්තමාන පරීක්ෂණය සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේ ය. ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 21 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය විසින් නියම කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න