හිටපු පොලිස්පතිවරයෙකු වන සී.ඩී. වික්‍රමරත්න වෙඩී වැදීමකින් මියගොස් තිබෙනවා. එම මරණය සිය දිවි නසා ගැනීමක් විය හැකි බවයි පොලිසිය සැක පළ කරන්නේ.
වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් තිබුණ ද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි සඳහන් වන්නේ.
ඔහුගේ දේහය මේ වන විට මුල්ලේරියාව රෝහලේ තබා ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මාලඹේ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
1986 ජූනි 16 වන දින ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ සී.ඩී. වික්‍රමරත්න බුද්ධි අංශයට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත.
පොලිස් බුද්ධි අංශ නිලධාරියකු ලෙස වසර 10කට ආසන්න කාලයක් සේවය කළ ඔහු, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය උත්සන්නව පැවති සමයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙහෙයුම් කටයුතු සඳහා ද සිය දායකත්වය ලබාදී ඇත.
පොලිස්පති ලෙස පත් වීමට පෙර ඔහු: දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, ඒ සමග ම සබරගමුව පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් කටයුතු කර ඇත.
2019 වසරේ දී සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ඔහු කටයුතු කළේ ය. අනතුරුව 2020 වසරේ නොවැම්බර් මස 27වන දා එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න පත් කරනු ලැබී ය.
වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර ඇති සී.ඩී. වික්‍රමරත්න 2023 නොවැම්බර් 25 වන දින විශ්‍රාම යන තෙක් ම පොලිස්පතිවරයා ලෙස සේවය කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
