Image

මීගමුව බන්ධනාගාර සිද්ධිය; බන්ධනාගාර අධිකරණයක් අවශ්‍ය නැහැ - ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක

මීගමුව බන්ධනාගාර සිද්ධිය; බන්ධනාගාර අධිකරණයක් අවශ්‍ය නැහැ - ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක

මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බළකායේ (බන්ධ පොලිස් ) නිලධාරීන් 10ක් සහ රැඳවියන් 21ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකරණය හමුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නඩුව විභාගය සහ දඬුවම් නියම කිරීම වළක්වාලන නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාතිලක ඊයේ (15) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.

බන්ධනාගාර පනත ප්‍රකාරව බන්ධනාගාරයටත් බලයක් තියෙනවා

එකම සිද්ධියක් සම්බන්ධයෙන් නඩු විභාග දෙකක් පවත්වා දඬුවම් නියම කිරිම සුදුසු නොවන බවත්, මේ නඩුව දැනට පවරා විමර්ශන සිදු කෙරෙන බැවින් බන්ධනාගාර අධිකරණය සිදු කිරීමට නියමිත නඩු විභාගය අවශ්‍ය නොවන බව එහි දී කරුණාතිලක මහතා පෙන්වා දුන්නේය. එලෙස ම ඉදිරි දිනයේ දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා ද නඩුවට කරුණු දැක්වීමක් කරන බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක සඳහන් කළේ ය.

එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා සඳහන් කළේ, බන්ධනාගාර පනත ප්‍රකාරව ඊට බන්ධනාගාරයට බලය ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි දිනයේ දී ඊට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන බවයි.

එහි දී ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක ඉල්ලා සිටියේ බන්ධනාගාරයට සිදුවු හානිය සම්බන්ධයෙන් අපරාධ ස්ථානය පිළිබඳව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඩ්‍රෝන පරික්ෂණයක් සිදු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස යි.

නිලධාරීන් ඇතුළු 287දෙනකු ගෙන් ප්‍රකාශ ලබා ගෙන

ඉකුත් 05 සහ 06 යන දෙදින මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ සහකාර පොලිස් පරික්ෂක කලුආරච්චි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වීමක් කළේ ය.

සිද්ධියෙන් ජිවිතක්ෂයට පත් වූ සංජු දිල්රුක්ෂාන් නැමති පුද්ගලයා ගේ මරණ පරික්ෂණයේ සාක්ෂි කැඳවීම 7/11 දින මලිගාකන්ද අධිකරණය හමුවේ පැවැත් වු බවත් එහි දී සිරුරෙන් සොයා ගත් උණ්ඩ කොටසක්, ඇඳුම් සහ ලේ සාම්පල නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළේ ය. එහි දී මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ එම නඩු භාණ්ඩ නිසි ලෙස නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කරන ලෙස යි.

පෙර දිනයේ නියෝග පරිදි සිද්ධියෙන් මිය ගිය සම්පත් පුෂ්පකුමාර , හර්ෂ ප්‍රියංකර , සහ දනිඳු හෂ්මික යන අය ගේ මරන පරික්ෂණවල සාක්ෂි කැඳවීම සිදු කළේ ය. එහිදී සාක්ෂි ලබා දිම සඳහා මරණකරුවන් ගේ ඥාතීන් වන සුරංජි ප්‍රනාන්දු , නිරුපා රෝෂානි මනෝජ් ප්‍රියංගික, නිමාලි ශිරන්ති, ජයලත් පෙරේරා යන අය සාක්ෂි ලබා දුන්හ.

නිලධාරීන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් (14) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ ය.

හඳුනාගන්නා සියලු ම සැකකරුවන්ට මිනි මැරුම් චෝදනා

එහි දී එම නිලධාරීන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගන්නා සියලු ම සැකකරුවන්ට මිනි මැරුම් චෝදනා යටතේ, ගිනි අවි අඥා පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවයි. දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317, 344 සහ ඉහත පනත් යටතේ වැරදි සිදුව ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ ය.

නිලධාරීන් ඉල්ලා සිටි සියලු ම නියෝග මහෙස්ත්‍රාත්වරිය විසින් නිකුත් කරනු ලැබුවා ය.

ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය 23වන දා ඉදිරිපත් කරන ලෙසත් ජාතික රෝහලේදී මිය ගිය රැඳවියා ගේ සහ නිලධාරීන් දෙදෙනාගේ මරණ පරික්ෂණ සම්බන්ධයෙන් මෙතෙක් සාක්ෂි කැඳවා නැති මරණ සම්බන්ධයෙන් සාක්ෂි කැඳවීමට සුදානම් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා ය.

බන්ධනාගාර වෙනුවෙන් සැරයන් මුදිත රොහාන් පෙනී සිටියේ ය. එහි දී සියලු රැඳවියන් ගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට නියෝගයක්, නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය. එහි දී මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ එම නියෝගය 7/9 දින නිකුත් කර ඇති බවයි. මාරු කළ රැඳවියන් සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට නියෝග කළා ය. එහිදී ඒ සම්බන්ධයෙන් සංඛ්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ බවත්, සවිස්තරාත්මක වාර්තාව ඉදිරි දිනයේ දී නිකුත් කරන බව බන්ධනාගාරය සඳහන් කළේ ය.

අකිලා නදීෂානි බණ්‍ඩාර - මීගමුව සමුහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න