Image

අපි, එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කළා - මහාචාර්ය ජී. එල්. පීරිස්

අපි, එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කළා - මහාචාර්ය ජී. එල්. පීරිස්

රටේ මේ වනවිට උද්ගත වී තිබෙන වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කළා යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ අද (15) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩෲ (Marc - Andre Franche) හමුවීමෙන් අනතුරව මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල්. පීරිස්...

සමස්ත ක්‍රියාදාමයේ කිසිම විනිවිදභාවයක් නැහැ

''කරුණු දෙකක් කියන්න ඕනේ. පළවෙනි කාරණය තමයි, අධිකරණ ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිසංස්කරණ. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියාට කිව්වේ, ලංකාවේ කිසිම කෙනෙක් මෙය ඉල්ලලා නැහැ කියලා. නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. සිවිල් සමාජය, මහේස්ත්‍රාත්වරුන්, මන්ත්‍රීවරුන්, මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තියෙනවා. එසේනම් කාගේ වුවමනාවටද මේවා කරන්නේ?

දෙවැනි කාරණාව තමයි, මේ සමස්ත ක්‍රියාදාමයේ කිසිම විනිවිදභාවයක් නැහැ. කිසිම කෙනෙක් දන්නේ නැහැ මොකක්ද මේ කරන්න හදන්නේ කියලා. මෙතෙක් දුරට රජයේ පැත්තෙන් නිශ්චිත ප්‍රකාශයක් කරලා නැහැ මේක තමයි සංශෝධනය, ඒ සංශෝධනය ඉදිරිපත් කරන්නේ මේවාට කියලා.

මෙවැනිම උත්සාහයක් දැරුවා එක්සත් රාජධානියේ 2021 අවුරුද්දේ. අවුරුදු එකහමාරක් ගත්තා මේ පිළිබඳ අවසාන නිගමනයකට එන්න. ජනතාවට, විශේෂයෙන්ම නීතිඥ ප්‍රජාවට සහ ප්‍රධාන විශ්වවිද්‍යාලවලට කිව්වා එයාල ගේ අදහස් ප්‍රකාශ කරන්න කියලා. මේ සඳහා ප්‍රතිචාර 1200ක් පමණ ලැබුණා. ඒ සියල්ලක් ම බොහොම ගැඹුරෙන් අධ්‍යයනය කරලා තමයි අවසාන තීරණයකට එළැඹුණේ.

නමුත් අපේ රටේ එහෙම කිසිම දෙයක් නැහැ. මේ පිළිබඳ කෙටුම්පතක් සමාජයේ නැහැ. රජයේ අරමුණ කුමක්ද? යෝජනා කරන්නේ මොන විදිහේ ප්‍රතිසංස්කරණද? සංශෝධනයන් මොනවාද කියලා කිසිසේත්ම පැහැදිලි නැහැ. මෙය මේ විදිහට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වගවීම් සහ විනිවිදභාවය මෙතන වැදගත් වෙනවා.

මෙය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි

විනිසුරුවරුන්ට පමණක් නෙමෙයි, නීතිඥයින් ප්‍රකාශයක් කරලා තිබුණා ඒ අයටත් තව අවුරදු දෙකකින් ධූර කාලය වැඩි කරලා දෙන්න කියලා. දැන් අපේ රටේ රෝහල්වල ශල්‍යකර්ම කරන්න බැරි තත්ත්වයක් තියෙනවා, මොකද විශේෂඥ වෛද්‍යවරුන් ගේ අඩුවක් තියෙනවා, ඒ අය රට හැර ගිහින්. ඒ අය ගේ සේවා කාලයත් මේ විදිහටම තව අවුරුදු දෙකකින් වැඩි කරන්න පුළුවන්.

මෙය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. මක් නිසාද යත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියේ සමානතාවය පිළිබඳ සංකල්පය ගැබ්වෙලා තියෙනවා.

මේ රටේ කොයි තරම් ප්‍රශ්න තියෙනවද, ඒ ප්‍රශ්න විසඳන්න කිසිම වුවමනාවක් නැහැ. මේ රටේ තව තවත් නැති ප්‍රශ්න ඇති කරන්න, අනවශ්‍ය ව්‍යාකූලතාවයක් ඇති කරන්න හදන එකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ පිළිබඳ අපේ ස්ථාවරය එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ දැනුවත් කරන්න තමයි අපි අද පැමිණියේ.''

 

මෙහි දී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය අචාර්ය සුරේන් රාඝවන්

ආණ්ඩුවට තියෙන්නෙ ම උද්ධච්ච ප්‍රකාශ විතරයි

''අපි අද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩෲ (Marc - Andre Franche) මහතා හමුවුණා. අපි එතුමාට පැහැදිලි කළා මේ රටේ නීතිය පිළිබඳව තියෙන ප්‍රධාන කොටසක් වෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ගේ විශ්‍රාම වයස වැඩිකිරීම පිළිබඳව. ඒ අවස්ථාවේ දී එතුමා අහපු ප්‍රශ්නවලටත් අපිට පිළිතුරු දෙන්න වුණා. එතුමා මීගමුවේ බන්ධනාගාරයේ දී ඇති වූ සිද්ධිය පිළිබඳව අදහස් විමසුවා.

ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා ගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම නිසා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය හැටියට අපිට යම් හෝ සහනයක් ලැබුණා. අද වනවිට මේ සිදුවීම සිදුවෙලා දවස් 10 ක්. නමුත් තවමත් අතුරු වාර්තාවක් හෝ කිසිඳු ප්‍රකාශයක් නිල වශයෙන් රජය පැත්තෙන් නිකුත් වෙලා නැහැ.

ඊයේ මම දැනගත්තා පහරදීමෙන් පසුව සිදුවෙලා තිබෙන ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙනුත්. සියලුම නීති ක්ෂේත්‍රයේ ඉන්න අය කියපු කතාවක් තමයි, මෙවැනි සිදුවීමක දී අවම බලය භාවිතා කිරීමේ නීතිය ගැන, ඒ කියන්නේ ජීව උණ්ඩ වෙනුවට රබර් උණ්ඩ, කඳුළු ගෑස් වැනි දෑ භාවිතා කරන්න තිබුණා කියලා. මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා උසස් අධ්‍යාපන ඇමති වෙලා ඉඳලා තියෙනවා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙලා හිටියා, වීදි අරගලවල දී අපි අවම බලය පාවිච්චි කිරීමේ ප්‍රතිපත්තිය භවිතා කර තිබෙනවා. එසේනම් මේ සිද්ධියේ දී එසේ නොවුණේ ඇයි?

මා හිතන්නේ ප්‍රධානම ගැටලුව තමයි මේවට උත්තර දෙන්න රජයේ කවුරුත් නොමැතිවීම. ආණ්ඩුවට තියෙන්නෙ ම උද්ධච්ච ප්‍රකාශ විතරයි. මා හිතනවා මහජනයා ඉතා ලොකු බලාපොරොත්තුවක් ඇතුවයි මේ ආණ්ඩුව පත්කළේ.

 

අනුර කුමාර දිසානායක ජනපතිතුමනි..., දැන් ඇති

අපි ඡන්දය දුන්නේ නැහැ, මොකද අපි ඒ ප්‍රතිපත්තිවලට විරුද්ධ නිසා. නමුත් බහුතරයක් දෙනා ඡන්දය දුන්න නිසා තමයි 159ක් පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්නේ. මේ 159න් 100කට අධික පිරිසක් ප්‍රාදේශීය සභාවකවත් වාඩිවෙලා නැති අය. ඒ කියන්නේ ඒ අයට අත්දැකීම් නැහැ. එහෙම අත්දැකීම් විරහිත වුණාම ඕනෑම සංස්කෘතියක, විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියක වුනත් කරන්නේ දන්න අයගෙන් අහලා දැනගන්න එක. එහෙම ආකල්පයක් මේ රටේ නායකයන්ට, පාලක පන්තියට තිබෙනවාද කියන එක ලොකු ප්‍රශ්නයක්.

33 දෙනෙකුගේ ජීවිත රටට අහිමි වෙලා තිබෙනවා, එයින් 10 දෙනෙක් නිලධාරීන්. තාම කිසිදු උසාවියකින් මේ අයව වරදකරුවන් හැටියට මේ අයට විනිශ්චයක් දීලා නැහැ. ඒක එහෙමනම් ඒ අයගේ ජීවත්වීමේ අයිතිය කවුද ගත්තේ ? Right to life is a fundamental international law, and sanctioned by, approved by the UN Council.

ඒ නිසා අපි කියනවා මේ සැකකරුවන්ගෙන් එක්කෙනෙක් හෝ නිවැරදිකරුවෙක් නම්, කියමනක් තියෙනවා "දහසක් වරදකරුවන්ට දඬුවම් කරනවාට වඩා එක නිවැරදිකරුවෙක්ට දඬුවම් දීම ඉතාම භයානකයි" කියලා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ මේ ආණ්ඩුව සිස්ටම් චේන්ජ් එකක් කරයි කියලා. නීතියේ ආධිපත්‍යය, ආර්ථික ස්ථායීතාවය, ආහාරවල සුරක්ෂිතතාවය, ප්‍රවාහන පහසුකම්, විධිමත් අධ්‍යාපනය වගේ දේවල්වල අයිතිය තහවුරු කරයි කියලා.

අද ආණ්ඩුවේ අය එදා විපක්ෂයේ දී කළා වගේ ගිනි තැබීම්වලට යන්න අපි අකමැතියි, ස්ට්‍රයික් කරලා හතර හමාරට ගෙදර යන අයව පාරේ බ්ලොක්  කරන්න අපි අකමැතියි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒක නෙමෙයි. 21 වැනි සියවසේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සවන්දීමෙන් යුතුව, උපදේශන (Consultations) ඇතිව, සහභාගිත්වය ඇතුව තමන් උපන් රටට, තමන් දේශපාලනය කරන රටට යහපතක් කිරීම. එසේනම් මගේ ඉල්ලීම සහ බලපෑම වෙන්නේ එවැනි වූ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක සිට මා මිත්‍ර ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක ඇතුළු නායකත්වයට දැන් ඇතියි කියන එකයි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න