Image

උදය ගම්මන්පිල, අධිකරණ ඇමතිට විශ්වාස භංගයක් ගෙන ඒමට හේතු 10ක් ඉදිරිපත් කරයි

උදය ගම්මන්පිල, අධිකරණ ඇමතිට විශ්වාස භංගයක් ගෙන ඒමට හේතු 10ක් ඉදිරිපත් කරයි

හේතු දහයක් මත අධිකරණ ඇමතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒ්මට කටයුතු කර ඇති බවත්, එම විශ්වාස භංගයට තමන් ද සහයෝගව පළ කරන්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (13) පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...

රිමාන්ඩ් සිරකරුවන් අතරින් 80%ක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අය

''පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් අධිකරණ ඇමතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න කටයුතු යොදා තිබෙනවා. හේතු දහයක් උඩ ඒ විශ්වාසභංග යෝජනාවට අපේ පූර්ණ සහයෝගය පළ කරනවා.

බන්ධනාගාරවල ධාරිතාවය වගේ හතර ගුණයක් මේ වන විට බන්ධනාගාර තුළ සිරකරුවන් ලෙස ඉන්නවා. ඇත්තෙන්ම මේ ධාරිතාවය වගේ හතර ගුණයක් බන්ධනාගාරයේ සිරකරුවන් සිටීම හේතුවෙන් සිරකරුවන් තුළත් නිලධාරීන්ටත් ඇති වෙලා තියෙන මේ තදබදය විසින් ඇති කරන ලද පීඩනය නිසා සිරකරුවන් සිරකරුවන් අතරත්, සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් අතරත් ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව අපි පසුගිය සතියේ පෙන්වලා දුන්නා. 2022 සිට 2026 දක්වා වසර හතර තුළ පමණක් බන්ධනාගාරයේ සිටින සිරකරුවන් ගණන දෙගුණයකින් වර්ධනය වෙලා තිබෙනවා. මේ අයගෙන් 75% රිමාන්ඩ් සිරකරුවන්. රිමාන්ඩ් සිරකරුවන් අතරින් 80% මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූවන්.

මත්ද්‍රව්‍යවලට අදාළ සිරකරුවන් වැඩි ඇයි...?

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දක්ෂ නීතිඥයන් ගේ සේවය ලබාගෙන නඩුවලින් නිදහස් වෙනවා. අවසානයේ දී හිරේ යන්නේ ඇබ්බැහි වූවන් විතරයි කියලා මත්ද්‍රව්‍ය විරෝධීන් ගෙන් ලොකු චෝදනාවක් තිබුණා. ඒ නිසා අඩුම ගණනේ ජාවාරම්කරුවන්ට ඇප ලබාගැනීම දුෂ්කර කර කරලා ඒ අයට යම් පීඩනයක් එල්ල කළ යුතුයි කියලා මත්ද්‍රව්‍ය විරෝධීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ ගෙනාපු මතයට නීතිමය ඉඩක් හදන්න 2022දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් නීති සංශෝධනයක් ගෙනාවා. ඒ නීති සංශෝධනය අනුව මත්ද්‍රව්‍ය ශුද්ධ බර ග්‍රෑම් දෙකට වඩා වැඩියි නම් ඇප ලබාගත යුත්තේ අභියාචනාධිකරණයෙන්. ග්‍රෑම් දෙකට වඩා අඩුයි නම් සුපුරුදු පරිදි මහාධිකරණයෙන් ඇප ලබාගත හැකියි. මේ හරහා උත්සාහ කළේ ජාවාරම්කරුවා යාපනයේ හිටියත් ඇප ලබාගන්න කොළඹ අභියාචනාධිකරණයට පැමිණිය යුතුයි කියන විධිවිධානය හදලා ජාවාරම්කරුවන් මත දැඩි පීඩනයක් එල්ල කරන්න. ඇත්තෙන්ම හැබැයි දැන් ඉතින් මේ මොන උසාවියෙන් ද ඇප ඉල්ලන්න ඕනේ කියන එක තීරණය කරන්න නම් අත්අඩංගුවට පත් වෙච්ච මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ ශුද්ධ බර ග්‍රෑම් දෙකට වැඩි ද අඩු ද කියන එක තීරණය කළ යුතුයි. ඒක තීරණය කිරීමේ හැකියාව තියෙන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පමණයි. ඔන්න ඔය නිසා තමයි රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමෙන් මේ ඇප ලබා ගැනීමේ අයදුම්පත්‍රයේ මොන උසාවියට ද දාන්නේ කියන එක තීරණය කරගන්න බැරි වෙලා මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළ රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් ගණන ශීඝ්‍රයෙන් වැඩි වීමක් සිද්ධ වුණේ. ඒ අනුව තමයි ඔය 2022 සිට සිරකරුවන් ගණන දෙගුණයක් බවට පත් වුණේ. 2022 මේ නීතිය ගෙනාවත් ඒ සමඟම ඇති වෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක 2022 සිට 2024 දක්වා බඳවා ගැනීම් නතර කරලයි තිබුණේ. එහෙමනම් 2024 සිට මේ දක්වා මිලදී ගැනීම්, බඳවා ගැනීම්වලට තිබුණු බාධාව 2024න් නතර වුණත්, 2024 සිට මේ දක්වා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය වැඩි කරන්න අධිකරණ ඇමතිවරයා අසමත් වෙලා තියෙනවා. ඔන්න අධිකරණ ඇමතිවරයාට විශ්වාසභංගයක් ගේන්න පළවෙනි හේතුව.

අධිකරණ අමාත්‍යවරයාගේ අසමත් භාවය

ඊට සමගාමීව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගන්න වැඩි කරගන්න අසමත් වෙලා තියෙනවා. දෙවැනි හේතුව. ඒ වගේම පහළ අධිකරණවල විනිසුරුවරුන් ගණන වැඩි කරන්න පියවර ගන්න අධිකරණ ඇමතිවරයා අසමත් වෙලා තියෙනවා. තුන්වැනි හේතුව. හතරවන හේතුව තමයි ඉහළ අධිකරණවල පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු නොකළත්, ඒ සඳහා ජනාධිපතිවරයා පොළඹවා ගන්න විෂයභාර අමාත්‍යවරයා විදියට අධිකරණ අමාත්‍යවරයා අසමත් වෙලා තියෙනවා. පස්වන හේතුව තමයි පහළ අධිකරණවල පුරප්පාඩු විශාල ගණනක් තිබීමෙන් අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද වන විට එම පුරප්පාඩු පිරවීමට අධිකරණ සේවා කොමිසම පොළඹවා ගන්න අධිකරණ ඇමතිවරයා අසමත් වෙලා තියෙනවා. හයවෙනි හේතුව තමයි මේ ප්‍රමාදයන් පහම සිද්ධ වෙද්දී අඩුම ගණනේ මේ ප්‍රශ්න ටික විසඳන තෙක් 2022 ගෙනාපු නීති සංශෝධනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්න අධිකරණ ඇමතිවරයා අසමත් වෙලා තිබෙනවා.

වසරකට වැඩි කාලයක් ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් නැහැ

හත්වන හේතුව තමයි වසරකට වැඩි කාලයක් පුරාවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව දුවන්නේ ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් නැතුව. ඉතාම දක්ෂ නිලධාරියෙක් විදියට සෑම දෙනාගෙම ගෞරවය දිනාගත්ත තුෂාර උපුල්දෙණිය මහත්මයා බොරු චෝදනාවක් එල්ල කරලා සේවයෙන් අත්හිටෙව්වා. මානව හිමිකම් කොමිසම මේ අත්හිටුවීම වැරදියි කියලා නැවත සේවයේ පිහිටුවන්න නිර්දේශ කළත් ඇමතිතුමා උද්දච්චකමට ඒ නිර්දේශය නොසලකා හරිමින් සිටිනවා. ඒ නිසා මේ මොහොතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තිබෙන්නේ ගුවන් නියමුවෙක් නැතුව අහසේ සැරිසරන ගුවන් යානයක් වගේ අවදානම් තත්ත්වයකයි. අටවන හේතුව තමයි ආණ්ඩුව ඉවත් වෙනු කියන මත්ද්‍රව්‍ය විරෝධී මාධ්‍ය සංදර්ශනයේ හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ඉලක්ක ලබා දීලා අනවශ්‍ය පීඩනයක් ඇති කිරීම. මේ නිසා තමන්ට මත්කුඩු ජාවාරමේ යෙදුණු හරි භාවිතා කරන හරි කෙනෙක් අත්අඩංගුවට අරගෙන ඉලක්ක සපුරගන්න අසමත් වුණොත් මත්කුඩු හඳුන්වා දීලා හරි, ඒ කියන්නේ කුඩු දාලා අත්අඩංගුවට අරන් කුඩු දාලා උසාවියට ඉදිරිපත් කිරීමේ තැනට පොලිසිය පීඩනය නිසා තල්ලු වෙලා තිබෙනවා කියලා ඉතාම බරපතල චෝදනාවක් තියෙනවා. ඒකත් ආණ්ඩුවේම වරදක්. විෂයභාර අමාත්‍යවරයා වගකිව යුතුයි.

හර්ෂණ නානායක්කාර මැතිතුමා ඉල්ලා අස්වෙන්න

ඊළඟට නවවන හේතුව තමයි වැරදි කරන නිලධාරීන්ට දඬුවම් කරනවා වෙනුවට වැරදීම් වන නිලධාරීන්ට දඬුවම් කිරීමේ ප්‍රතිපත්තිය නිසා අද රජයේ නිලධාරීන් තීන්දු ගන්න බයයි. ඕක නිසා තමයි එක නිලධාරියෙක් අධිකරණ ඇමතිතුමාට කිව්වේ නිය පොත්තෙන් කඩන්න තිබුණ එකක් සර් අපිට ඕඩර්ස් ආව නම් අපි නවත්වනවා කියලා. අද රජයේ නිලධාරීන් තීන්දු ගන්නේ නැත්තේ අද රජයේ නිලධාරීන් ගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ වැඩි වැඩ, වැඩි ලෙඩ, අඩු වැඩ, අඩු ලෙඩ, වැඩ නොකළොත් ලෙඩක් නෑ කියන ප්‍රතිපත්තියට තල්ලු වෙලා ඉන්න නිසයි. ඕක ඉංග්‍රීසියෙන් තමයි හරිම ලස්සන, more work, more troubles, less work, less troubles, no work, no troubles. මේ ප්‍රතිපත්තියට රජයේ සේවකයා තල්ලු කරපු ආණ්ඩුවේ විෂයභාර අමාත්‍යවරයා විදියට එතුමාට මේ වගකීම ගන්න වෙනවා. දසවන හේතුව තමයි වඩාත්ම වැදගත්. වත්මන් ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන කාලේ හරියටම දිනය කිව්වොත් 2020 නොවැම්බර් මාසේ 30 වෙනිදා ප්‍රකාශයක් සිද්ධ කරනවා. ඒ තමයි බන්ධනාගාරවල සිටින සිරකරුවන් ආණ්ඩුවේ බාරයේ සිටින අය නිසා ඔවුන් ගේ ජීවිත පිළිබඳ වගකීම තියෙන්නේ ආණ්ඩුවටයි. එකම එක සිරකරුවෙක් බන්ධනාගාරයක් තුළදී මිය ගියත් ඒ වගකීම බාර අරගෙන අධිකරණ ඇමතිවරයා ඉල්ලා අස් විය යුතුයි. දැන් ඔන්න වෙනත් ආණ්ඩුවල අධිකරණ ඇමතිවරුන්ට ඔය ප්‍රශ්නේ නෑ. එවැනි ප්‍රකාශයක් සිද්ධ කරලා නැහැ. මේ ප්‍රකාශයේ මාලිමාවේ ප්‍රතිපත්තියයි නායකයා රටට කිව්වේ. ඒ ප්‍රතිපත්තිය අනුමත කරලා ක්‍රියාත්මක කරන්නයි 2024දී මේ රටේ ජනතාව බලය දුන්නේ. එහෙමනම් කිව් දේ දැන් කරලා පෙන්වන්න සිද්ධ වෙන නිසා විෂයභාර ඇමතිවරයා, අධිකරණ ඇමතිවරයා ලෙස හර්ෂණ නානායක්කාර මැතිතුමාට ඉල්ලා අස්වෙන්න සිදු වෙනවා.

ධර්මය කෙතරම් ඇත්ත ද...?

අපි මීට වසරකට කලින් ඕක නිව්ටන්ගේ හතරවන නියමය ලෙස කිව්වා. ඒ කාලේ වැඩි අවධානයක් යොමු වුණේ නෑ. දැන් නම් ඉතින් ජනතාවට මේ කාරණේ හුරුපුරුදුයි. අපි නිව්ටන්ගේ හතරවන නියමය ලෙස රටට කිව්වේ මීට අවුරුද්දකට කලින්, අනුර කුමාර ජනාධිපතිතුමා කරන දේකට හෝ කියන දේකට සපුරාම වෙනස් හා සමාන ප්‍රකාශයක් ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටිය දී කර ඇත. සමහරු ඕකට දිට්ට ධම්ම වේදනීය කම්ම කියලත් කියනවා. දහම් පාසලේදී ඕවා ඉගෙන ගත්තට ඕවා නිකන් මහා පොළොවේ නොවෙන කතා කියලා මිනිස්සු විශ්වාස කරාට දැන් ධර්මය කෙතරම් ඇත්ත ද කියන එක රටේ ජනතාවට පෙන්වලා දෙන්න වෙන්න ඇති මේ ආණ්ඩුව බලයට පත් කරන්න ජනතාවට සිද්ධ වුණේ. කොහොමහරි මෙන්න මේ හේතු දහය මත පාර්ලිමේන්තුවේ බහුතරය කෙසේ වෙතත් රටේ බහුතරය මේ විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරනවා කියන එකයි අපේ විශ්වාසය.

අල්ලස් කොමිසම බිමල් ඇමතිතුමාට බය ද...?

2025 ජනවාරි මාසයේදී බහලුම් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම පිළිබඳ අපි අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළා. මේ පැමිණිල්ල පිළිබඳ නිසි විමර්ශනයක් නෑයි කියලා දැක්කම ප්‍රගතිය විමසමින් අල්ලස් කොමිසමට 2025 ජූලි 17 වෙනිදා සිහි කැඳවීමක් සිදු කළා. ඒත් ප්‍රගතියක් නැහැ. අපි කොහොමද බය නැතුව ප්‍රගතියක් නැහැ කියන්නේ 2026 ජනවාරි 19 වෙනිදා දෙරණ 360 රූපවාහිනී වැඩසටහනට සහභාගි වුණු බිමල් රත්නායක ඇමතිතුමා කියනවා, බහලුම් සම්බන්ධයෙන් මම කිසි වරදක් කරලා නැහැ. වරදක් කරලා තිබුණා නම් අල්ලස් කොමිසම මම කැඳවිය යුතුයි. මට එවැනි කැඳවීමක් නැහැ කියලා. ඒ අනුව මේ ප්‍රකාශය දැක්කට පස්සේ අපි 2026 මැයි මාසේ 4 වෙනිදා අල්ලස් කොමිසමේ අවධානයට යොමු කළා. ඔන්න බිමල් ඇමතිතුමා මෙහෙම ප්‍රකාශයක් කරනවා. නමුත් රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා 2025 ජනවාරි 31 වෙනිදා මේ බහලුම් 323 නිදහස් කරන්න, තමන්ට උපදෙස් ලබා දුන්නේ බිමල් රත්නායක ඇමතිතුමාය කියලා ලිඛිත ප්‍රකාශයක් කරලා තියෙන බව අපි අල්ලස් කොමිසමට පෙන්වලා දීලා අල්ලස් කොමිසමෙන් අපි ප්‍රශ්න කළා. ඇයි බිමල් රත්නායක ඇමතිතුමාව තවම ප්‍රශ්න කරන්නේ නැත්තේ? ඒ කියන්නේ අපේ පැමිණිල්ලේ කිසිම ප්‍රගතියක් නැහැ කියන එක නේද කියලා අපි අල්ලස් කොමිසමෙන් ඇහුවා. අල්ලස් කොමිසම 2026 මැයි 13 වෙනිදා ඒ ලිපියට ඉතාම කාර්යක්ෂම පිළිතුරක් එවනවා. හතරවෙනි දා යවපු ලිපියට 13 වෙනිදා ම පිළිතුරක් යවලා කියනවා. නෑ නෑ අපේ විමර්ශන කටයුතු ඉදිරියට ඉතාම හොඳින් කරගෙන යනවා. ඔබේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා කියලා.

අපේ අල්ලස් කොමිසම, ලෝකයේම පිළිගත්ත විශ්වීය මූලධර්ම අමතක කරලා

නමුත් මේ වනතුරුම අල්ලස් කොමිසමට බිමල් ඇමතිතුමා ගෙන්වලා ප්‍රශ්න කරලා නැහැ. අපි කොහොමද හරිම විශ්වාසයෙන් ඒක කියන්නේ? අපි දන්නවා අල්ලස් කොමිසමේ ප්‍රතිපත්තිය තමයි හිටපු මන්ත්‍රීවරයෙක්ව අල්ලස් කොමිසමට කැඳවීමක් කළත් ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා පුළුල් මාධ්‍ය ආවරණයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට හිටපු ඇමති කෙනෙකුටත් මාධ්‍ය ආවරණයක් ලබාගන්නවා නම් රටේ සභානායකවරයා අල්ලස් කොමිසමට කැඳවන අවස්ථාවේ එවැනි මාධ්‍ය ආවරණයක් ලබා නොගන්න හේතුවක් නැහැ. එහෙමනම් රටට හොරෙන් මාධ්‍ය වලට හොරෙන් බිමල් රත්නායක ඇමතිවරයාව අල්ලස් කොමිසමට කැඳවීමට කිසිම ඉඩක් නැහැ. එතකොට ඇත්තෙන්ම අල්ලස් කොමිසම විපක්ෂයේ දේශපාලකයෙක්ට එරෙහිව පැමිණිල්ලක් ලැබුණම ඉතාම කාර්යක්ෂම විමර්ශනය සිද්ධ කරනවා විතරක් නෙවෙයි. ඒකට පුළුල් ප්‍රචාරයක් ලබා දෙනවා. විපක්ෂයේ දේශපාලකයන්ගේ අල්ලස් පිළිබඳ කාර්යක්ෂමව විමර්ශනය කිරීම ඉතාම හොඳ වැඩක්. හැබැයි විපක්ෂයේ දේශපාලකයාගේ ට එරෙහිව ලැබෙන පැමිණිල්ලට වඩා කාර්යක්ෂම විමර්ශනය කළ යුත්තේ ආණ්ඩුවේ දේශපාලකයට එරෙහිව ලැබෙන පැමිණිල්ලටයි. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් විපක්ෂයේ දේශපාලකයාට දැන් බලයක් නැති නිසා ඒ අයට තව තවත් මහජන දේපල විනාශ කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම විපක්ෂයේ දේශපාලකයාට සාක්ෂි විනාශ කරන්න බලයක් නැහැ. දැන් එයා ආණ්ඩුවට බලපෑමක් කළ හැකි තත්ත්වයක නැති නිසා. නමුත් රජයේ බලවත්ම තනතුරක් දරන අයෙක් දූෂණයකට සම්බන්ධයි නම් එයාට එරෙහිව පියවර නොගැනීමෙන් ඔහුට තව තවත් මහජන දේපල නාස්ති කරන්න නීතිය අවභාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු දරන තනතුරේ බලය නිසාම සාක්ෂි විනාශ කරන්න සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න අවස්ථාව තිබෙනවා. ඔන්න ඔය නිසා තමයි ලෝකයේ පුරාම තිබෙන අල්ලස් විමර්ශන කරන කොමිෂන් සභා විපක්ෂයේ දේශපාලකයාට වඩා වැඩි අවධානයක් වැඩි බරක් ආණ්ඩුවේ දේශපාලකයාට යොමු කරන්නේ. නමුත් අවාසනාවට අපේ අල්ලස් කොමිසම ඒ ලෝකයේම පිළිගත්ත විශ්වීය මූලධර්මය අමතක කරලයි කටයුතු කරමින් ඉන්නේ.

දැන් අපි මේ මූලධර්මය පිළිබඳ පවා අපි අල්ලස් කොමිසමේ අවධානයට ලිඛිතව යොමු කරලා තිබෙනවා. එවැනි පසුබිමක මේ බහලුම් 323 නීති විරෝධීව නිදහස් කරලා වසර එකාමාරක් ගත වෙලා තියෙනවා. මාස 18ක් ගත වෙලා තිබියදී. අනිත් පැත්තෙන් මාව අල්ලස් කොමිසම කැඳවන්නේ නැත්තේ මා කිසි වරදක් නොකළ නිසාය කියලා උදාහරණ වාක්‍යයක් බිමල් රත්නායක ඇමතිතුමා කියලා මාස 6ක් ගත වී තිබියදීත් අල්ලස් කොමිසම තවමත් බිමල් රත්නායක ඇමතිතුමාව ප්‍රශ්න කරන්න පැකිලෙමින් සිටිනවා. ඒ නිසා අල්ලස් කොමිසමේ මහත්වරු බිමල් රත්නායක ඇමතිතුමාගේ ඇමතිකමට හරි වෙන මොකක් හරි පසුබිමකට හරි බයද කියලා තමයි අපිට අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න