ගෙවෙමින් පවතින්නේ බෞද්ධයින් ලෙස ඉතා කල්පනාවෙන් බෞද්ධයන් හැටියට මම හිතනවා අපි බොහොම කල්පනාවෙන් වැඩ කළ යුතු කාලයක් වැඩ කළ යුතු කාලයක් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසු ගිය 02වන දා යක්කලමුල්ල, කරාගොඩ, ශ්‍රී දේවරක්ඛිත පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය නරාවල සිරිවිමල හිමියන් ගේ අනුශාසකත්වයෙන් වෙසක් සැමරුමට සමගාමීව ප්‍රදර්ශනය කරන්නට යෙදුණු තොරණ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන...
''බද්දේගම කියන්නේ මං හිතන විදිහට බෞද්ධයින් 98% ක් පමණ ජීවත් වන ප්‍රදේශයක්. නරාවල සිරිවිමල අපේ නායක හාමුදුරුවෝ බුදුදහමත්, රටත් ආරක්ෂා කර ගැනීම සඳහා උන්වහන්සේගේ මුළු ජීවිතයම කැප කරලා කටයුතු සිදු කරමින් සිටිනවා. අපි බෞද්ධයන් වශයෙන් එය අගය කළ යුතු බව මේ අවස්ථාවේ දී ප්‍රකාශය කරනවා.
මම ලංකාවේ ඓතිහාසික ස්ථාන 60 කට පමණ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා
මේ කර්තව්‍යයේ ප්‍රධාන හිමිකරු වෙන කවුරුත් නෙමෙයි අපේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට පුදුම ශක්තියක් තිබෙනවා බුද්ධාගමේ උන්නතිය වෙනුවෙන් මෙවැනි දේ සිදු කරන්න. කොහොමහරි බෞද්ධයන් හැටියට මම හිතනවා අපි බොහොම කල්පනාවෙන් වැඩ කළ යුතු කාලයක් තමයි මේ ගත වෙන්නේ. ඔබ විවිධ අවස්ථාවල ජනවරම මට දුන්නහ ම ඒ පින් ඔබටත් අනුමෝදන් වෙනවා. මොකද මට අවස්ථාව ලැබුණා ලංකාවේ ඓතිහාසික සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරලා ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න. මට අවස්ථාව ලැබුණා කැලණිය රජ මහා විහාරයට එහෙම කරන්න. මට අවස්ථාව ලැබුණා ශ්‍රී පාදස්ථානයට එහෙම කරන්න. මට අවස්ථාව ලැබුණා මෙවැනි ලංකාවේ ඓතිහාසික ස්ථාන 60 කට පමණ මම ස්වදේශ කටයුතු ඇමතිවරයාව සිටියදී රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න. මට ඒ අවස්ථාව ලැබුණෙ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගේ පූර්ණ ආශිර්වාදය යටතේයි.
බෞද්ධයින් ලෙස එකතු කරගන්න පුළුවන් මහා පුණ්‍යකර්ම
උඩුගම පෙරහැරත් එහෙම කළා. උණවටුනේ තිබෙන වැල්ලේ දේවාලයත් එහෙම කළා. රජ කාලයට සම්බන්ධ වෙන රජ්ගම තිබෙන සීනිගම පෙරහැරත් ඒ අවස්ථාවේ එහෙම කරන්න මට අවස්ථාව උදා වුණා. ඉතින් ඒ පින් සියල්ලක් ම මේ පුරවැසියන්ට අයිති වෙනවා. ඔබ බලය දුන්නහම ඒ අවස්ථාව බුදුදහම වෙනුවෙන් භාවිතා කරන්න මට අවස්ථාව ලැබුණා. බුදුන් වැඩිය සෑම ස්ථානයකටම ස්වදේශ කටයුතු ඇමතිවරයා හැටියට කළ හැකි ඉහළම මෙහෙවර කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒවා තමයි අපිට බෞද්ධයන් හැටියට එකතු කරගන්න පුළුවන් මහා පුණ්‍යකර්ම. දැන් මේ රැස්වෙලා ඉන්න බෞද්ධයනුත් කල්පනා කරන්න ඕන කේන්තිය නැති කරගන්න, වෛරය නැති කරගන්න, ක්‍රෝධය නැති කරගන්න, ඊර්ෂ්‍යාව නැති කරගන්න. සියලු දෙනා සුවපත් වේවා කියලා හිතන්න. නැත්නම් බෞද්ධයන් හැටියට අපේ බෞද්ධකමෙන් වැඩක් නැති වෙනවා. බෞද්ධයන් හැටියට කෙනෙක් දැකලා කේන්ති යනවා නම්, වෛර කරනවා නම්, ඊර්ෂ්‍යා කරනවා නම්, ඒක තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයටත් හොඳ නැහැ. ඕනෑම තමන්ට ගැළපෙන නොගැළපෙන සියලු පුරවැසියන් දැක්කහම සුවපත් වේවා කියලා හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඒකයි ශ්‍රී ලංකාවට සිදු විය යුත්තේ කියලා.
වෙසක් පොහොය මැයි පළමුවෙනි දා
වෙසක් කාරණය ගැන සඳහන් කළා, ඔබ ගියත් ඔබට පරික්ෂා කරලා බැලුවොත් කදිරගාමර් මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කළා වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් නම් කරන්න. UN එකේ වෙසක් දිනය බැලුවහම ඒකේ තිබෙනවා මැයි පළවෙනිදා තමයි වෙසක් පොහොය කියලා. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මේ දේවල් ඔබට උනත් බලන්න පුළුවන්. වෙසක් කියන්නේ වෙසක්. සිංහල අවුරුදු චාරිත්‍ර කියන්නේ චාරිත්‍ර. මම ඒ විෂය භාරව හිටපු ඇමතිවරයා හැටියට කියන්න කැමතියි, නොගැළපීම් ආවහම මම කළේ මගේ බලය පාවිච්චි කරලා ගැසට් කිරීම නෙමෙයි. මම මහනුවර මහා දිසාපතිට කියනවා මහනායක හාමුදුරුවෝ මුණ ගැහිලා ගැළපෙන දින සූදානම් කරලා මට දැනුම් දෙන්න කියලා, ඊට පස්සේ මම ගැසට් කරන්නම් කියලා. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් කියලා සටහන් කරලා තිබෙන්නේ මැයි පළවෙනිදා. ඉන්දියාව වෙසක් සැමරුවා මැයි පළවෙනිදා. නේපාලය සැමරුවා මැයි පළවෙනිදා. ලෝකයේ බෞද්ධ ආගම අදහන රටවල් විශාල ප්‍රමාණයක් මැයි පළවෙනිදා වෙසක් උත්සවය සැමරුවා. ලෝකේ සමහර රටවල් පොසොන් මාසෙත් එක්ක වෙසක් සැමරීම සිදු කළා. ඉන්දියාව මැයි පළවෙනිදා වෙසක් සමරලා 30 වෙනිදා ඉඳලා ජූනි 7 වෙනිදා වෙනකන් සමගාමී වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නත් කටයුතු කර තිබෙනවා. ඔබට ගිහිල්ලා ඒවා පරික්ෂා කරලා බැලුවහම දැනගන්න පුළුවන්. මේ මගේ අදහස් නෙමෙයි, ලෝකේ බෞද්ධ චාරිත්‍රවලට අදාළ අදහස් පමණයි මම ප්‍රකාශ කරන්නේ.
බුදුදහම ආරක්ෂා කර ගැනීමේ සටන ඉතා වැදගත්
ඉතින් ඒවා ගැන ශ්‍රී ලාංකික බෞද්ධයන් කල්පනාවෙන් වැඩ කළ යුතු වෙනවා. බුදුදහමේ අපිට දේශනා කරලා තිබෙන විදිහට, අපේ ඉදිරිපිට ඉන්න භික්ෂූන් වහන්සේලාගේ අඩුපාඩු අපිට කතා කරන්න තහනම්. ඉතින් ශ්‍රී ලාංකික බෞද්ධයන් ඒක ඉස්සෙල්ලා හිතේ තබා ගත යුතු වෙනවා. ඒ සඳහා වෙනම ක්‍රමවේදයක් බුදුදහමේ දේශනා කරලා තිබෙනවා. ඉතින් මම කණගාටු වෙනවා අපේ ඇතැම් මාධ්‍ය ආයතන එවැනි ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ගැන. ඒ හැසිරීම් රටාව ශ්‍රී ලාංකික බෞද්ධ රටකට නොගැළපෙන හැසිරීම් රටාවක්. කරන්න දෙයක් නැහැ, මනුෂ්‍ය ස්වභාවය ඔහොමයි. ඉතින් අපිට මේවට ප්‍රකාශ කරන්න තිබෙන්නේ ශ්‍රී ලාංකික මහජනයා, අනාගත පරම්පරාව රට ගැන හිතලා කල්පනාවෙන් වැඩ කළ යුතු වෙනවා යන්න පමණයි. ලෝකයේ ඇති බුදුදහම අදහන රටවල් අතරින් ශ්‍රී ලංකාවට විශේෂ තැනක් හිමිවෙනවා. ඒ නිසා එය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කරන සටන තමයි ඉතා වැදගත්. පක්ෂ, පාට වැදගත් නැහැ. අපි ඒ අනුව තමයි ක්‍රියා කරන්නේ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම ගැන. බෞද්ධයන් හැටියට ඔබ සිහි කල්පනාවෙන් වැඩ කළ යුතුයි. ඔබ මට ජනවරමක් දුන් සෑම අවස්ථාවක ම බුදුදහම රැකෙන පරිදි, මේ දිස්ත්‍රික්කය තුළ පමණක් නෙමෙයි, මුළු රටේම බුදුදහම රැකෙන පරිදි ක්‍රියා කරන්න ලැබුණේ ඔබ සියලුදෙනාට පින් සිදු වන්නයි. ඒ නිසා ඔබ සියලු දෙනාම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.''
මෙම අවස්ථාවට යක්කලමුල්ල, කරාගොඩ, ශ්‍රී දේවරක්ඛිත පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය නරාවල සිරිවිමල හිමියන්, ඇතුළු ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා මෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
