Image

තිරසර ඉස්සන් වගාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහ කොරියානු ජනරජයේ සහාය

තිරසර ඉස්සන් වගාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහ කොරියානු ජනරජයේ සහාය

2026 මැයි 13, කොළඹ – ශ්‍රී ලංකාවේ ඉස්සන් වගා අංශය නවීකරණය කිරීමේ සුවිශේෂී ඉදිරි පියවරක් තබමින්, කොරියානු ජනරජයේ මූල්‍ය අනුග්‍රහය මත, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සමග එක්ව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ක්‍රියාත්මක කරන ලද "ඵලදායී ජෛව ආරක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණය හරහා ස්මාර්ට් සහ තිරසර ජලජීවී වගාව" ව්‍යාපෘතිය සාර්ථකව සම්පූර්ණ කළේ ය.

ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) පහසුකම් වැඩිදියුණු කෙරේ

මෙම සිවු අවුරුදු මුලපිරීම මගින් ජෛව ආරක්ෂණ පද්ධති ශක්තිමත් කර, ඩිජිටල් නවෝත්පාදන හඳුන්වා දී, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කර, ශ්‍රී ලංකාවේ ඉස්සන් වටිනාකම් දාමය පුරා තාක්ෂණික ශක්‍යතාව ඉහළ නංවා ඇත.

ජලජීවී වගාව තුළ රෝග නිවාරණය සහ කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා පරිපූර්ණ රාමුවක් සපයමින්, ශ්‍රී ලංකාවේ ජලජ සත්ත්ව සෞඛ්‍යය පිළිබඳ ජාතික උපායමාර්ගය සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ජයග්‍රහණයකි. ජාතික ජලජ ව්‍යාධිකාරක ලැයිස්තුවක්, ප්‍රධාන ඉස්සන් රෝග සඳහා වන රෝග පැතිකඩ සහ ඉස්සන් ගොවිපොළ 699ක් ආවරණය වන පරිදි සිදු කරන ලද දීපව්‍යාප්ත සමීක්ෂණයක් මගින් මෙම උපායමාර්ගය සඳහා සහාය ලබා දී ඇත. භූගෝලීය තොරතුරු පද්ධති (GIS) මත පදනම් වූ සිතියම්කරණය සහ ගොවිපොළ පැතිකඩකරණය මගින් දැන් වඩාත් ඉලක්කගත රෝග නිරීක්ෂණය, පාරිසරික අධීක්ෂණය සහ සැලසුම්කරණය ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) පහසුකම් වැඩිදියුණු කිරීම සහ නවීන රෝග විනිශ්චය උපකරණ සඳහා ප්‍රවේශය ඉහළ නැංවීම ඇතුළුව, ජලජ සත්ත්ව සෞඛ්‍යය සඳහා වන රසායනාගාර ශක්‍යතාව ද ඉහළ නංවා ඇත.

ඉස්සන් වගාවේ තිරසර භාවය ඉහළට

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මෙසේ ප්‍රකාශ කළේය.

"මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ජලජීවී වගා අංශයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ජෛව ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම සහ ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගැනීම හරහා ජීවනෝපාය මාර්ග ආරක්ෂා කරන අතරම ජාතික සංවර්ධන ප්‍රමුඛතාවන්ට සහාය වෙමින් ඉස්සන් වගාවේ ඔරොත්තු දීමේ හැකියාව, ඵලදායිතාව සහ තිරසර භාවය අපි ඉහළ නංවන්නෙමු."

අවදානම්වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට ගොවීන්ට අවස්ථාව

තත්කාලීන අධීක්ෂණයට සහ තීරණ ගැනීමට සහාය වීම සඳහා ගොවිපොළ මට්ටමේ සහ ජාතික මට්ටමේ දත්ත ඒකාබද්ධ කරන ඩිජිටල් වේදිකාවක් වන ජාතික ඉස්සන් කර්මාන්ත තොරතුරු පද්ධතිය (SIIS) ද මෙම ව්‍යාපෘතිය මගින් හඳුන්වා දෙන ලදි. ද්‍රව්‍යමය අන්තර්ජාලය (IoT) මගින් සක්‍රිය කරන ලද සංවේදක භාවිතයෙන්, මෙම පද්ධතිය ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ දත්ත ග්‍රහණය කරගන්නා අතර පූර්ව අනතුරු ඇඟවීමේ දැනුම්දීම් සපයයි. එමගින් මතු වන අවදානම්වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට ගොවීන්ට සහ බලධාරීන්ට අවස්ථාව සලසා දෙයි. දත්ත මත පදනම් වූ සහ ප්‍රතිචාරාත්මක ජලජීවී වගා අංශයක් කරා පරිවර්තනය වීමට සහාය වෙමින්, වයඹ පළාතේ සියලුම ඉස්සන් ගොවිපොළ මෙම පද්ධතිය යටතේ සිතියම්ගත කර ඇත. පාරිසරික තිරසරභාවය සහ ජෛව ආරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා ඉස්සන් වගාවට අදාළ වඩාත් යහපත් කළමනාකරණ පිළිවෙත් (BMP) සමාලෝචනය කර යාවත්කාලීන කළේ ය. දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ වැඩසටහන් මගින් සහාය ලබා දෙමින්, මෙම මාර්ගෝපදේශ ගොවීන් සහ පාර්ශ්වකරුවන් අතර පුළුල් ලෙස බෙදා හැර ඇත.

FAO සංවිධානයේ සේවාව කොරියානු තානාපතිනිය ගේ ඇගයුමට

මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින්, කොරියානු ජනරජයේ තානාපතිනි මියොන් ලී ප්‍රධාන සංවර්ධන හවුල්කරුවකු ලෙස ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය වෙනුවෙන් කොරියාවේ කැපවීම යළි තහවුරු කළා ය. එසේම, ශ්‍රී ලංකාව තුළ තිරසර ජලජීවී වගාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් FAO සංවිධානය සිදු කරන කාර්යභාරය ද තානාපතිවරිය අගය කළා ය. ඩිජිටල් විසඳුම් හඳුන්වා දීම හරහා වඩාත් ස්මාර්ට් සහ කාර්යක්ෂම ජලජීවී වගා පද්ධති කරා ගමන් කිරීමට කොරියාවේ සහාය ශ්‍රී ලංකාවට තවදුරටත් උපකාරී වනු ඇති බව තානාපතිවරිය සඳහන් කළාය. එමගින් ග්‍රාමීය ජීවනෝපාය මාර්ග සහ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන බව ද ඇය පෙන්වා දුන්නා ය. ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ඉස්සන් ආහාර සුරක්ෂිතතා පද්ධති ඇගයීමට ලක් කළ අතර නියාමන රාමු, රසායනාගාර ශක්‍යතාව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම ශක්තිමත් කිරීම සඳහා උපායමාර්ගික වැඩිදියුණු කිරීමේ සැලැස්මක් ද සංවර්ධනය කරන ලදි. මෙය වැඩිදියුණු කළ වෙළඳපොළ ප්‍රවේශයට සහ පාරිභෝගික විශ්වාසයට සහාය වේ.

සාර්ථකත්වයට හේතු

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා මූලික හේතුව වී ඇත්තේ ශක්‍යතා සංවර්ධනය යි. රෝග විනිශ්චය, ජලයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීම, ජෛව ආරක්ෂණය සහ ඩිජිටල් දත්ත කළමනාකරණය ඇතුළු අංශ ඔස්සේ ඉස්සන් වගාකරුවන් 450ක් සහ රජයේ නිලධාරිවරුන් 190ක් පුහුණු කළේ ය. මෙම ප්‍රයත්නයට සහාය වීම සඳහා, ක්ෂේත්‍ර සහ රසායනාගාර මෙහෙයුම් ශක්තිමත් කිරීම වෙනුවෙන් ජලයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීමේ පද්ධති, රසායනාගාර රෝග විනිශ්චය මෙවලම් සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ඇතුළුව දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 128,000ක වටිනාකමකින් යුත් උපකරණ ව්‍යාපෘතිය මගින් ලබා දෙන ලදි.

තිරසර ඉස්සන් කර්මාන්තයක් ගොඩනැගීම සඳහා ශක්තිමත් පදනමක්

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා මෙසේ ප්‍රකාශ කළේ ය.

"මෙම මුලපිරීම හරහා, වඩාත් ඒකාබද්ධ සහ දත්ත මත පදනම් වූ ආකාරයකින් ජලජීවී වගාව කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ශක්‍යතාව ශක්තිමත් කරගෙන ඇත. වැඩිදියුණු කරන ලද ජෛව ආරක්ෂණය සහ තාක්ෂණික ශක්‍යතාව සමඟින් SIIS වේදිකාව හඳුන්වා දීම, ඔරොත්තු දෙන සහ තිරසර ඉස්සන් කර්මාන්තයක් ගොඩනැගීම සඳහා ශක්තිමත් පදනමක් සපයයි."

වැඩිදියුණු කළ යහපාලනය, විද්‍යාව මත පදනම් වූ තීරණ ගැනීම සහ ඩිජිටල් නවෝත්පාදන ඒකාබද්ධ කිරීම හරහා ශ්‍රී ලංකාවේ ඉස්සන් වගා අංශය ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතියේ ජයග්‍රහණ දායක වේ.

මෙම ප්‍රතිලාභ පවත්වා ගෙන යෑමට මෙන්ම දිගුකාලීන වර්ධනයට, වැඩිදියුණු කළ ජීවනෝපායන්ට සහ ඉහළ නැංවූ ආහාර සුරක්ෂිතතාවට සහාය වීම සඳහා FAO සංවිධානය, ශ්‍රී ලංකා රජය සහ සංවර්ධන හවුල්කරුවන් අතර අඛණ්ඩ සහයෝගීතාව අත්‍යවශ්‍ය වනු ඇත.

ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය

IMAGE 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න