Image

විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ දෙවන අදියර 2026 ජූලි සිට

විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ දෙවන අදියර 2026 ජූලි සිට

වසර 2025 අයවැය යෝජනාවලට අනුව, 2019 ජනවාරි 1 දින හෝ ඊට පෙර විශ්‍රාම ලැබූ රජයේ සේවකයින් සඳහා වන විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ දෙවන අදියර ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධන වැඩසටහන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර, එහි පළමු අදියර මේ වන විට සාර්ථකව අවසන් අදියර වෙත ළඟා වෙමින් පවතී. පළමු අදියර යටතේ 2018 ජනවාරි 01 දිනට පෙර විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇතුළු විශ්‍රාමිකයින් 420,930 දෙනෙකුට දැනටමත් ප්‍රතිලාභ හිමිවී ඇති අතර, එය සියයට 95ක ප්‍රගතියකි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින ලිපිගොනුවල අඩුපාඩු හේතුවෙන් ප්‍රමාද වී ඇති සෙසු ප්‍රතිශෝධන ද කඩිනමින් අවසන් කිරීමට පියවර ගෙන ඇත.

වසර 2026 ජූලි මස ඇරඹෙන දෙවන අදියර මගින් 2019.01.01 දිනට හෝ ඊට පෙර විශ්‍රාම ලැබූ සියලු ම විශ්‍රාමික ප්‍රජාවට ප්‍රතිලාභ හිමිවනු ඇත. මෙම කටයුතු සැලසුම් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් පසුගිය මාර්තු 19වෙනි දා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී, විශ්‍රාම වැටුප් කළමනාකරණ දත්ත පද්ධතිය (Pension Management Data System) වැඩිදියුණු කිරීම සහ අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත විශ්‍රාම වැටුප් නිලධාරීන් සම්බන්ධ කරගනිමින්, ඉතා කෙටි කාලයක් තුළ මෙම ප්‍රතිලාභ විශ්‍රාමිකයන් අතට පත්කිරීම දෙපාර්තමේන්තුවේ මූලික ඉලක්කය වී ඇත.

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න