Image

දෙනියායේ දරුවන් අතර මොළයේ උණ රෝගී තත්ත්වයක්; රෝගයට හේතුව ජලය මලින් බෝ වන වෛරසයක්

දෙනියායේ දරුවන් අතර මොළයේ උණ රෝගී තත්ත්වයක්; රෝගයට හේතුව ජලය මලින් බෝ වන වෛරසයක්

දෙනියාය ප්‍රදේශයේ දරුවන් අතර වේගයෙන් පැතිර යන මොළයේ උණ රෝගී තත්ත්වයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

සති කිහිපයක සිට මෙම ප්‍රදේශයේ දරුවන් අතර වේගයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් නිරීක්ෂණය වී ඇති අතර එහි දී මොළයේ උණ රෝගී තත්ත්වය සහිත දරුවන් අසාමාන්‍ය ලෙස ඉහළ යෑමත් සමග මේ පිළිබදව අවධානය යොමු වී තිබේ. මේ රෝගීන් සියල්ලම වාර්තා වී ඇත්තේ දෙනියාය මූලික රෝහල වෙතයි. ගෙවුනු සති 2 – 3 ක කාලය තුළ දී මොළයේ උණ රෝග තත්ත්වය සහිත දරුවන් 45 ත් 50 ත් අතර පිරිසක් වාර්තා වී ඇත.

වැඩි දුර පරීක්ෂාවේදි හදුනාගැනීමට ලැබි ඇත්තේ මෙම මොළයේ උණ තත්ත්වයට හේතු වී ඇත්තේ වෛරස් ආසාදනයක් බවයි.

දැනට තිබෙන තොරතුරු අනුව මේ වෛරසය ව්‍යාප්ත වන්නේ අපිරිසිදු ජලය මගින් බව හඳුනාගෙන තිබේ. ඊට අමතරව ස්වසන පද්ධතිය හරහා සහ සමීප ආශ්‍රිතයින් අතර ද බෝ වීමේසුලු ප්‍රවණතාවක් පවතිනවා. මෙම වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින්නේ දරුවන් අතර වන බැවින් පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ උපකාරක පන්ති තුළින් මෙම රෝග ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් ඇත.

මෙහි දී ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන තිබෙන්නේ උණ රෝගී තත්ත්වය යි. එමෙන්ම තද බල හිසේ කැක්කුම, බෙල්ල ආශ්‍රිතව තිබෙන තද ගතිය හෝ වේදනාව, ඉර එළියට හෝ ආලෝකයට නිරාවරණය වන විට ඇති වන අපහසුතාවය, වමනය, ආහාර අරුචිය, ඇගපත කැක්කුම යනාදි රෝග ලක්ෂණ ද දැක ගත හැකිය.

මෙම වෛරසය හේතුවෙන් ඇති වෙන මොළයේ උණ ආසාදනයෙන් දරුවන්ට දීර්ඝ කාලීන සංකූලතා හෝ මරණීය තත්ත්වයන් ඇති වීම අවම නමුත් රෝගය ඉක්මනින් හදුනාගනිමින් ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යය ය. එබැවින් ඉහත සඳහන් රෝග ලක්ෂණ තිබේ නම් වහාම රෝහලට ගොස් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය.

වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. එහි දී රෝගයේ මුලාශ්‍රය සහ ආරම්භය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් පර්යේෂණ කටයුතු සිදු කරයි. ඒ තුළින් රෝගය පාලනය කිරීමට සහ වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපට හැකියාව ලැබේ.

වෛද්‍යවරුන් ලෙස මෙම ප්‍රදේශයේ ජනතාවට ලබා දිය යුතු පණිවිඩ කිහිපයකි. ඉන් පළමුවැන්න නම් අවදානමක් සහිත රෝග තත්ත්වයක් බැවින් ඒ පිළිබද අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍යය ය. නමුත් අනවශ්‍ය කලබලයක් හෝ බියක් ඇති කරගත යුතු නැත. මෙම රෝග ව්‍යාප්තිය ජල මුලාශ්‍ර හරහා පැතිර යන බවට හමු වී තිබෙන සාධක හමුවේ දෙනියාය ප්‍රදේශයේ ජනතාව තම පානිය ජල අවශ්‍යතාවය සපූරා ගන්නේ කෙසේද යන්නත්, එම පානීය ජලයේ ගුණාත්මකභාවය පිළිබදවත් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

ස්‍වභාවික ජල මුලාශ්‍රවලින් ලබා ගන්නා ජලය තුළින් පානීය ජල අවශ්‍යතාවය සපුරා ගන්නේ නම් එම ජල මුලාශ්‍ර නිවැරදිව පිරිසිදු කිරීමත්, පිරිසිදු ජලය භාවිතා කිරීමත්, උණු කර නිවා ගත් ජලය භාවිතා කිරීමත් සිදු කළ යුතුයි. ආහාර පරිභෝජනයේ දී ද පිරිසිදුකම පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. එමෙන් ම නිවැරදි අයුරින් දෑත් සෝදා පිරිසිදු කිරීමත් කළ යුතුයි. විශේෂයෙන්ම වැසිකිළි භාවිතයෙන් පසු අත් සේදීම, ආහාර ලබා ගැනීමට පෙර සහ පසු හොදින් අත් සේදීම සිදු කළ යුතුයි. ඒ වගේම වැඩි පිරිසක් එක් රැස් වෙන ස්ථානයකට යන්නේ නම් මුව ආවරණයක් පැලඳීම සහ ඉන් අනතුරුව හොඳින් අත් සොදා පිරිසිදු කිරීම වැනි කාරණා පිළිබඳ අවදානය යොමු කළ යුතුයි.

දැනට පවතින නොරතුරු අනුව පෙනී යන්නේ මෙම රෝගය ව්‍යාප්ත වී පවතින්නේ දෙනියාය ප්‍රදේශය ආශ්‍රිතව පමණයි. මාතර දිස්ත්‍රික්කයේ අනිත් ප්‍රදේශ වල හෝ රටේ වෙනත් ප්‍රදේශයක මෙවන් රෝගී තත්ත්වයක් වසංගතයක් ලෙස පැතිර යාමක් මෙතෙක් වාර්තා වී නැත.

අදාළ ප්‍රදේශ ආශ්‍රිතව රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීමත්, දෙනියාය රෝහල තුල මෙම රෝග තත්ත්වය පාලනය කරමින් රෝගීන්ට අදාල උපරිම සත්කාර සේවාවන් ලබා දීමත් සඳහා අවශ්‍ය සියලු පියවර විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් ගෙන ඇත.

බෝ නොවන රෝගවලින් වැළක්වීමේ දී ඒ වෙනුවෙන් සමාජ වගකීමක් පොදු ජනතාව ලෙසට ඔබට ද ඇත.

මේ සම්බන්ධයෙන් ඔබ ප්‍රදේශයේ වෛද්‍යවරුන් සහ රෝහල හරහා දිනපතා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ වසංගත රෝග විද්‍යා අංශය මගින් ඔබට අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශයන් නිකුත් කරනු ඇත. එම මාර්ගෝපදේශවලට අනුගත වෙමින් මෙම වසංගත රෝග තත්ත්වය පාලනය කර ගැනීමට අවශ්‍ය සහය ලබා දීම ප්‍රදේශවාසින් ගේ වගකීමයි.

වෛද්‍ය චමිල් විජේසිංහ

සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න