වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්, මිනිත්තුවකටත් අඩු කාලයක දී සිදු කළ හදිසි සිසේරියන් සැත්කමක් මගින් මවක ගේ සහ නොමේරූ බිළිඳකු ගේ ජීවිත බේරාගෙන ඇත.
සිද්ධිය මෙසේය
සති 34ක ගැබිනි මවක් දරු ප්‍රසූතියට සූදානමින් සිටිය දී අධි රුධිර පීඩනය හේතුවෙන් මාවතගම රෝහලට ඇතුළත් කර ඇත. එහි දී රුධිර පීඩනයට අමතරව ඇයට වලිප්පුව ද වැලඳී ඇත. තත්ත්වය බරපතළ වීම නිසා ඇය වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත. කුරුණෑගල රෝහලේ දී ද යළි වලිප්පුව සෑදී ඇති අතර, රුධිර පීඩනය ද සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස් තිබේ.
නෝම්බි අරින්න සූදානමින් සිටිය දී හදිසි කැඳවීමක්
මව සිටි වාට්ටුව භාර වෛද්‍යවරයා වහාම වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ට දුරකතන ඇමතුමක් ලබා දී ඇත. ඇමතුම ලැබෙන අවස්ථාවේ වෛද්‍ය ෂිහාබ්දීන් නෝම්බි ඇරීමට සූදානමින් සිට ඇත. මව වහාම ශල්‍යාගාරයට ඇතුළත් කරන ලෙස උපදෙස් දුන් ඔහු, මිනිත්තු 5ක් තුළ රෝහලට පැමිණ ඇත.
හෘද ස්පන්දනය නැවතී තිබූ මව
එම අවස්ථාවේදී අධි රුධිර පීඩනය සහ වලිප්පු තත්ත්වය මත මවගේ හෘද ස්පන්දනය නැවතී තිබී ඇත. මව බේරා ගැනීමට නම් හදිසි සැත්කමක් කර වැදෑමහ ඉවත් කළ යුතු බව වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ගේ තීරණය කර ඇත. එවිට රුධිර පීඩනය සාමාන්‍ය අතට පත් වී යළි හෘද ස්පන්දනය ආරම්භ වන බව ඔහු දැනුම් දී ඇත.
තත්පර 30ත් මිනිත්තුවත් අතර සැත්කම
ඒ අනුව වහාම සිසේරියන් සැත්කමට යොමු කළ මව ගේ සැත්කම තත්පර 30ත් මිනිත්තුවත් අතර කාලයක දී නිමා කිරීමට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් කටයුතු කර ඇත. අවසානයේ දරුවාගේත් මවගේත් ජීවිත දෙකම බේරා ගැනීමට ඔහුට හැකි වී තිබේ. සති 34දී උපන් බිළිඳා නොමේරූ දරු ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මූලාශ්‍ර - Breaking News - Sri Lanka
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
