Image

රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහි චෝදනා නැවත ගොනු කරන ලෙස අධිකරණ නියෝගයක්

රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහි චෝදනා නැවත ගොනු කරන ලෙස අධිකරණ නියෝගයක්

පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති සහ හිටපු ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහි චෝදනා නැවත ගොනු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

දිගු විමර්ශනයකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකුමාර සඳහන් කළේ සැකකරු නිදහස් කරමින් මීට පෙර ලබා දී තිබූ නියෝගය දෝෂ සහිත බවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාළ සැකකරුට එරෙහිව නැවත චෝදනා ඉදිරිපත් කර නඩු කටයුතු ඉදිරියට ගෙන යා යුතු බව අධිකරණය දැනුම් දුන්නේය.

මෙම නඩුවේ පසුබිම සහ චෝදනා ගැන සැලකීමේ දී හිටපු මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ විසින් මීට පෙර රවීන්ද්‍ර විජේගුණරත්න නිදහස් කර තිබුණේ නීතිපතිවරයා ගේ උපදෙස් මතය. මෙහි ප‍්‍රධාන චෝදනාව වන්නේ 11දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවකු වූ නාවික නිලධාරී චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චිට නාවික හමුදා නිවාසයක ආරක්ෂාව ලබා දී ඔහුට රටින් පලා යාමට අනුබල දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාට චෝදනා එල්ල වී ඇත.

අගතියට පත් දෙමාපියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න සැකකරුට එරෙහිව ඇති සාක්ෂි අධිකරණයට සවිස්තරාත්මකව ඉදිරිපත් කළා ය. එහිදී ඇය පෙන්වා දුන්නේ වත්මන් රජය යටතේ වුව ද නීතිපතිවරයා මෙම නඩුව ඉදිරියට ගෙන යෑමට මැළිකමක් දක්වන බවයි.

එමෙන්ම වත්මන් සහ හිටපු නීතිපතිවරුන් මෙම නඩුවේ වැදගත් සාක්ෂි සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම හෝ ඒවා යටපත් කිරීමට උත්සාහ කර ඇති බවට ද වින්දිත පාර්ශවය චෝදනා කළේය. අධිකරණ ක‍්‍රියාවලියේ දී තවදුරටත් අදහස් දැක්වූ නීතිඥවරිය ජනාධිපති අනුර කුමාර දිසානායක, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකර මීට පෙර නිදහස් කළ සැකකරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට ප‍්‍රමාණවත් ක‍්‍රියාමාර්ග ගෙන නොමැති බව සඳහන් කළා ය.

තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහේස්ත‍්‍රාත්වරයා අවධාරණය කළේ නීතිපතිවරයාගේ මූලික වගකීම යුක්තිය ඉටු කිරීම මිස සැකකරුවන් ආරක්ෂා කිරීම නොවන බවයි. ඒ අනුව මෙම නඩුවට අදාළ චෝදනා නැවත ඇතුළත් කර නීතිමය ක‍්‍රියාමාර්ග කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂිත ය.

මූලාශ්‍ර -Cyber News LK 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න