වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘතියකට අනුව ඓතිහාසික වටිනාකමකින් යුතු නුවරඑළිය තැපැල් කාර්යාලය අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති පසුබිමක අලුත්වැඩියා කටයුතු සිදු කරන කාලය අතරතුර තැපැල් කාර්යාලය නුවරඑළිය ළමා පුස්තකාලය වෙත මාරු කිරීම සඳහා පසුගිය මස පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් ගනු ලැබූ තීරණයට නුවරඑළිය පුස්තකාල පාඨක සමාජයේ සහ ප්‍රදේශවාසීන් සිය විරෝධතාවය ප්‍රකාශ කරයි.
මේක අමන තීරණයක්
මෙහි දී නුවරඑළිය පුස්තකාල පාඨක සමාජය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් පී. එස්. කේ. රත්නායක නුවරඑළිය ප්‍රජාව නියෝජනය කරමින් එම්. ජී. නිමල් සහ ගයාන් චතුරංග විජය බණ්ඩාර යන අය අදහස් දක්වමින් කියා සිටියේ පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමෙන් පුස්තකාල තරගවලින් ජයග්‍රහණ රැසක්
හිමිකරගෙන ඇති සහ මධ්‍යම පළාතේ හොඳම ළමා පුස්තකාල හැටියට තේරී තිබෙන නුවරඑළියේ ළමා පුස්තකාලය ඉවත් කර එම ස්ථානයට තාවකාලිකව තැපැල් කාර්යාලය වැඩ කටයුතු සඳහා ලබාදීමට ගත්තීරණය මුළුමනින්ම අමන තීරණයක් බවයි.
ඔවුන් මේ බව ප්‍රකාශ කර සිටියේ (29) උදෑසන අනාගත පරපුර වෙනුවෙන් ළමා පුස්තකාලේ රැකගැනීම උදෙසා තැපැල් කාර්යාලය පුස්තකාලය වෙත මාරු කිරීමට සිය විරෝධතාව ප්‍රකාශ කිරීම වෙනුවෙන් අදහස් දක්වමිනි ,
මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ ඔවුන්...
''නුවරඑළිය නගරයේ වැඩකට නැති වැඩක් ගන්නේ නැති ගොඩනැගිලි රැසක් තියෙනවා. පරණ මහ නගර සභාව වගේම පුස්තකාලේ ළඟ තියෙන අවුරුද්දකට පාරක් ටෙන්ඩර් දෙන වාණිජ ගොඩනැගිල්ල. මේව එකක්වත් දෙන්නේ දේශපාලකයන්ගේ වුවමනාව මත පුස්තකාලේ ඒ වැඩේ සඳහා තෝරාගත් එක හරිම මෝඩ වැඩක්.''
අධ්‍යාපනය තුට්ටු දෙකට විකුණන නගර සභාව
''අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා ද නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු සභාපති හිටපු රජයේ පාසල් ගුරුවරයෙකු වගේ ම, ඔහු වර්තමානයේ දේශපාලන කටයුතුවල නියැළි සිටින පක්ෂයේ ගුරු වෘත්තීය සමිති සභාපතිවරයෙක්. ළමුන්ගේ අධ්‍යාපනය ගැන නොසිතා අධ්‍යාපනයට වගකිවයුතු බලධාරීන් මෙවන් අඥාන තීරණයක් ගැනීම පිළිබඳව කණගාටුයි. ඒකටම හරියන ආයතනයක් තමයි නුවරඑළියෙ මහ නගර සභාව කියලා කියන්නේ.''
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් පුස්තකාල ගොඩනැගිල්ල ලබා ගැනීමේ තීරණය එන විට නගර සභාව කරලා තියෙන්නේ ඒක නිකන් දෙන්න බැහැ රුපියල් 20,000ක් අය කරගෙන දෙන්න ඕන කියලා මහනගර සභා මුදල් කමිටුවෙන් තීරණයක් අරන් තියෙනවා. ලංකාවේ වැඩිම ආදායම් උත්පාදනය කරන නගර සභාවක් ළමුන්ගේ අධ්‍යාපනය තුට්ටු දෙකට විකුණලා උත්පාදනය කරන්න ඕන කියලා හිතන එක ඇත්තටම විරිලැජ්ජා නැති වැඩක්. මහ නගර සභාවේ දේශපාලකයන්ට මොලයක් නැහැයි කියන එක සහ ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ගැන කවුරුත් දන්නවා.
එහි පාලන බලය සමග වැඩ කරන කොමසාරිස්වරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් මේ තීන්දුවට එකඟ වුණේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්. හෙට අනිද්ද වෙනකොට ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා පුස්තකාල ගොඩනැගිල්ල ඉල්ලයි ව්‍යාපාරයක් කරන්න රුපියල් 30000ක් දෙන්නම් කියලා. අපි අහන්නේ මේ එන සොච්චම් මුදල වෙනුවෙන් ළමයිගේ අධ්‍යාපනය විකුණන් කන්න මහ නගර සභාව ලෑස්ති ද කියන එක සහ මහ නගර සභාව ඒ තරමට පිරිහිලාද කියන එකයි.''
ළමා පුස්තකාලය ගරා වැටෙන ගොඩනැගිල්ලකට
''නගර සභාවට සල්ලි ඕන්නම් අපිට කියන්න අපි දෙන්නං ළමයින් වෙනුවෙන් ළමයින් ගේ අධ්‍යාපනය නගා සිටීම වෙනුවෙන්. ළමුන්ගෙ පුස්තකාලෙ තියෙන පොත් බඩු බාහිරාදිය ඔක්කොම එකතු කරලා ගබඩාවකට වගේ ගොඩ ගහලා තියෙන්නේ මහජන පුස්තකාලේ කොටසක. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ගරා වැටෙන්නට ඔන්න මෙන්න කියලා රතු නිවේදනය දාලා තියෙන ගොඩනැගිල්ලක් අස්සේසේ තමයි මේ පොත් ටික ගොඩ ගහලා ළමයින් ගෙ ආරක්ෂාව ගැන නොහිතා ළමයිනුත් ඒකට ගෙන්න ගන්න හදන්නේ. මේ ළමයින්ගෙන් රුපියල් දහය ගානෙ හරි එකතු කරලා ඔය කියන ගානට වඩා වැඩි ගාණක් අපිට දෙන්න පුළුවන්. මේ ගත්තු අඥාන තීරණය අකුළ ගත්තේ නැත්නම් මෙයට විරුද්ධව අපි පාරට බහින්න වුණත් ලෑස්ති යි.''

නාලක රත්නායක - නුවරඑළිය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
