Image

කුමාර ජයකොඩි කියන්නේ පට්ට හොරෙක් - උදය ගම්මන්පිල

කුමාර ජයකොඩි කියන්නේ පට්ට හොරෙක් - උදය ගම්මන්පිල

හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි පට්ට දූෂිතයෙක් තමා බිය නැතිව පවසන බවත් ඒමෙන් ම තමා මේ ප්‍රකාශය කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී බවත් පිවිතුරු හෙළ උර්මය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (20) පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...

සභාපති උත්සාහ කළේ මුළු ලෝකයම නොමග යවන්න

''පසුගිය ඉන්ධන අර්බූදය සමයේ ඩීසල් බැරලයකට මුළු ලෝකයේ ම වැඩිම මිල වන ඩොලර් 286 ගෙවලා තිබෙන්නේ ලංකා ඛනිජතෙල් සංස්ථාව. මම නොවේ එහෙම කියන්නේ. එච්එස්බීසී බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ජෝර්ජස් එල්හෙඩෙරි. මුලින්ම ජෝර්ජස් කිව්වේ ලංකාව තෙල් බැරලයකට ඩොලර් 286ක් ගෙවලා කියලායි. තෙල් වර්ගය මොකක්ද කියලා කිව්වේ නෑ. තෙල් සංස්ථාවේ සභාපතිතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා ලොකු පචයක් දෙසා බෑවා. සභාපතිතුමා හිතුවේ ජනාධිපතිතුමා පචවලින් ලංකාව රැවැට්ටුවා වගේ එයාට පච වලින් මුළු ලෝකයම රවටන්න පුළුවන් කියලා.

අපි බොරතෙල් බැරලයක් අර ගත්තේ ඩොලර් 71යි 113යි අතර මිල ගණන් වලට. මේ බොරුව ප්‍රචාරය කරලා සංස්ථාව අපකීර්තියට පත් කරපු අයට විරුද්ධව නඩු දානවා කියලා සභාපතිතුමා කිව්වා. එතකොට තමයි එච්එස්බීසී කිව්වේ අපි තෙල් කිව්වාට බොරතෙල් කිව්වේ නෑ. ඩොලර් 286ක් ගෙවලා අරන් තිබෙන්නේ බොරතෙල් නොවේ ඩීසල් කියලා. ඒ පාර සභාපතිතුමා මාධ්‍ය හමුවක් පවත්වලා ඔව් ඩීසල් නම් ඩොලර් 286 ගණනේ අර ගත්තා තමයි කියලා. කිසිම හොරකමක් හොර හිතක් තිබුණේ නැතිනම් අපි බැරලය ඩොලර් 286 ගණනේ ඩීසල් ගත්තා තමයි කියලා අර නිවේදනය නිකුත් කරපු වෙලාවේම කියන්න තිබුණා නෙ. සභාපතිතුමා උත්සාහ කළේ නොකිව්ව බොරතෙල් එකක් ගාවගෙන මුළු ලෝකයම නොමග යවන්නයි. තෙල් සංස්ථාව අපට තවමත් ලෝකයේ ඉහළම මිලට ලංකාවට ඩීසල් ගන්න වුණේ ඇයි කියන එක පැහැදිලි කරලා නෑ. බැරලය ඩොලර් 286 ගණනේ මිල දී ගත්තේ කොහෙන්ද? ගැනුම් මිල කීයද? අධිමිල කීයද? කොපමණ ප්‍රමාණයක් ගත්තා ද වැනි විස්තර කිසිවක් පැහැදිලි කළේ නෑ. නමුත් අපි වැඩිපුරම ඩීසල් මිල දී ගන්නේ සිංගප්පූරුවෙන් නිසාත් සිංගප්පූරු ප්ලැට්ස් මිල දර්ශකය ගැන සභාපතිතුමා මාධ්‍ය හමුවේ දී සඳහන් කළ නිසාත් අපි ඩීසල් මිල දී ගත්තේ සිංගප්පූරුවෙන් කියලා අනුමාන කරමුකෝ.

එක නැවක අධිමිල රුපියල් කෝටි 586ක්...?

එතුමා කිව්ව විධියට මේ මිල දී ගැනීම කරන්නේ අප්‍රේල් පළමු සතියේ. ඩීසල් මිල ඉහළ ම මිලක් වාර්තා කළ සතියේ. මිල නියම වුණේ ඒ සතියේ ප්ලැට්ස් මිල දර්ශකයේ සාමාන්‍ය මිල පදනම් කරගෙන කියලානෙ සභාපතිතුමා කිව්වේ. 2026 අප්‍රේල් පළමු සතියේ ප්ලැට්ස් මිල දර්ශකයේ ඩීසල් සාමාන්‍ය මිල ඩොලර් 224යි. අපි ගත්තු මිල ඩොලර් 286යි. ඒ කියන්නේ එක බැරලයකට ඩොලර් 62ක් අධිමිල නැතිනම් ප්‍රිමියම් එකක් ගෙවන්න වෙලා තිබෙනවා. තෙල් නැවක් කියන්නේ සාමාන්‍යයෙන් බැරල් ලක්ෂ තුනක් විතර. ඒ කියන්නේ ඩීසල් බැරල් ලක්ෂ තුනක් මිල දී අරන් තිබ්බොත් අධිමිල ඩොලර් මිලියන 18.6ක් නැතිනම් රුපියල් කෝටි 586ක්. හොඳට මතක තියා ගන්න. මේ එක නැවක අධිමිල විතරයි. අධිමිල කියන්නේ නැව් ගාස්තු, රක්ෂණය සහ සැපයුම්කරුවා ගේ ලාභය කියන අයිතම තුනේ එකතුවට. යුද කලාපයේ රතු මුහුදෙන් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගෙනාපු තෙල්වලට වඩා සාමකාමි සිංගප්පූරුවෙන් අපි ගෙනාපු තෙල්වලට රක්ෂණය වැඩි වුණේ කොහොමද? ජපානයට නවසීලන්තයට වගේ ඈත රටවලට යන නැව්වලට වඩා අපේ නැව් ගාස්තු වැඩි වුණේ කොහාමද? වෙනත් කිසිම රටක සැපයුම්කරුගේ ලාභයට වඩා අපේ සැපයුම්කරුගේ ලාභය වැඩි වුණේ අගරු කුමාරටයි අඟුරු කුමාරටයි පැලවත්තටයි ගෙවන කොමිස් සැපයුම්කරු ගේ ලාභයට එකතු කරපු නිසා ද? මෙන්න මේවාට තමයි බිග් කුච්චන් කියන්නේ. විෂය භාර ඇමති අගරු කුමාර වෙන කොට රටේ ජනපති අඟුරු කුමාර වෙන කොට පැලවත්ත විශේෂ බද්දක් ක්‍රියාත්මක වෙන කොට ලෝකයේ ඉහළම මිලට ඩීසල් ගත්ත රට ලංකාව වීමත් පුදුම වෙන්න දෙයක් නෑ.

ජනපති ගල්අඟුරු ප්‍රශ්නය විසඳුවේ මහදැනමුත්තා වගේ

හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි පට්ට දූෂිතයෙක් කියලා මම බය නැතිව කියනවා. මම මේ ප්‍රකාශය කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා නොවේ. ඒ නිසා මම කියන්නේ බොරු නම් මට විරුද්ධව නඩු දාන්න කියලා මම අභියෝග කරනවා. මම මගේම ආණ්ඩුවල දූෂිතයන්ට විරුද්ධව කෑ ගහලා දෙපාරක් ඇමතිකම් නැති කර ගත්තු මිනිහෙක්. ඒ නිසා හොරාට හොරා කියන්න එදා බය වුණෙත් නෑ. අද බය වෙන්නෙත් නෑ. ජනපති අනුර ගල්අඟුරු ප්‍රශ්නය විසඳුවේ මහදැනමුත්තා වගේ. කොමිසමට රහසේ සාක්ෂි කැඳවන්නේ ඇයි? ගල්අඟුරු ජාවාරමෙන් ආණ්ඩුවේ ගෑවුණු දැලි හෝදලා යවන්න පුළුවන් දැලි තොගයක් නොවේ. කෙතරම් කිරෙන් සේදුවත් ගල්අඟුරු සුදු වුණු කලක් නම් නැත කියලා තිබෙන පැරණි සිංහල කව් පදය ඊනියා මාක්ස්වාදින් අහලා නැතුවා ඇති. තවමත් ආණ්ඩුවේ මැති ඇමතිවරු ගල්අඟුරු වංචාවක් ඔප්පු වුණේ නෑ කියලා මාධ්‍ය ඉදිරියට ඇවිත් ලැජ්ජා නැතිව කියනවා. ලංකාවට ගෙනාව ගල්අඟුරු හොඳටෝම බාලයි කියන්නේ අපි නොවේ. මාලිමාවෙන් පත් කළ අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්න මේ වන විට මරා දමා තිබෙන ලංකා විදුලිබල මණ්ඩලය. ඒ වගේම ගල්අඟුරු වංචාවක් වුණා කියන්නේ අපි නොවේ. මාලිමාව තටමලා තටමලා පත් කරපු විගණකාධිපතිවරිය. ඒ නිසා තවමත් ගල්අඟුරු වංචාවක් වුණේ නෑ කියලා කවුරු හරි කියනවා නම් හඳුන්නෙත්ති ඇමතිතුමාගේ හිල් වුණු යට ඇඳුමක් ඇඳගෙන ඒක කියන්න කියලා අපි යෝජනා කරනවා.

මේ කළේ බොරුවක්; රඟපෑමක්

විශ්වාස භංග යෝජනාවේ ඡන්ද විමසීමට කලින් ගල් අඟුරු දැලි තැවරිලා තිබුණේ අඟුරු කුමාරගෙයි අගරු කුමරාගෙයි විතරයි. ඇත්තට ම විශ්වාස භංග යෝජනාවට විරුද්ධව අත උස්සලා කළේ දෙන්නෙක්ගේ ඇඟ පුරාම විතරක් තිබුණු දැලි ටික අරන් මුළු මාලිමාවේම ගා ගත්තු එකයි. ආණ්ඩුවයි පක්ෂයයි බේරා ගන්න නම් කුමාර ජයකොඩි ඇමතිතුමාට විශ්වාස භංග යෝජනාවට කලින් ඉල්ලා අස්වෙන්න කියන්න තිබුණා. ඉල්ලා අස්වෙන්නේ නැතිනම් අස් කරන්න තිබුණා. එහෙම කළා නම් විගණකාධිපති පවා වංචාවක් වුණු බවට ලිඛිතව සනාථ කළ වංචාවක් හෝදන්න ගිහිල්ලා මාලිමා සමස්ත මන්ත්‍රි බලකාය හොරු බවට පත් වෙන්නේ නෑ. ජනාධිපති කොමිසම සිදුකරන විමර්ශනය සාධාරණ බව පේන්න ඕනෑ නිසා තමන් ඉල්ලා අස්වුණා කියලනෙ අඟුරු කුමාර කිව්වේ. කොමිසමේ කටයුතු අපක්ෂපාතිව සිදු වෙන්න ඕනි නිසා නම් අඟුරු කුමාර ඉල්ලා අස්වුණේ මුළු ඇමති මණ්ඩලයම ඉල්ලා අස් වෙන්න ඕනි. මොකද කුමාර ජයකොඩි ඇමතිවරයා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සියල්ලම ඇමති මණ්ඩලය අනුමත කළා. ඇමති මණ්ඩල අනුමැතිය නැතිව ගල්අඟුරු ගේන්න බෑ. එහෙම නම් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන්න නම් තීරණ ගත්තු අය ඉල්ලා අස්විය යුතු නම් කුමාර ජයකොඩි ඇමතිවරයා විතරක් ඉල්ලා අස්වෙලා හරියන්නේ නෑ ජනාධිපතිතුමා ඇතුළු සමස්ත ඇමති මණ්ඩලයම ඉල්ලා අස්විය යුතුයි. එකෙන්ම පෙනවා මේ කළේ බොරුවක් රඟපෑමක් කියන එක.

පුණ්‍ය කුමාර බිලි දුන්නේ ඇයි...?

ඒ විතරක් නොවේ. ජනාධිපතිතුමා ඇතුළු සමස්ත ඇමති මණ්ඩලයට විරුද්ධවම අභියාචනාධිකරණයේත් ශ්‍රේෂ්ඨාධිකරණයේත් විවිධ නඩු පවරලා තිබෙනවා. එහෙම නම් ඒ නඩු සාධාරණව විභාග වෙන බව තහවුරු වෙන්න ඒ ඒ නඩුවට අදාළ ඇමතිවරු ඉල්ලා අස්වෙන්න ඕනිනෙ. හැබැයි එහෙම වුණේ නෑනෙ. මෙතැන විතරක් කොමිසම පත් කරන කොට ඇමතිතුමා ඉල්ලා අස්වුණේ ඇයි? අගරු කුමාරට ඕනෑ වුණේ අඟුරු කුමාරව බේරා ගන්න මිස අස් කරන්න නොවේ. ඒකනෙ, වංචාව විගණකාධිපති සනාථ කරද්දී මාලිමා මන්ත්‍රිවරුන්ට විශ්වාස භංගයෙන් කුමාර ජයකොඩි ඇමතිතුමාව බේරා ගන්න කියලා ජනාධිපතිතුමා කිව්වේ. විශ්වාස භංග යෝජනාවෙන් බේරාගෙන සතියක් යනකොට තමයි එච්එස්බීසී ප්‍රධාන විධායක නිලධාරි විසින් ඩීසල් බැරලයකට ලෝකයේ වැඩිම මිල ගෙවූ රට ලංකාව කියලා කිව්වේ. මාධ්‍ය නිවේදනයක් දාලා ඒක වහන්න බැලුවත් බැරි වුණා. ඒක ලෝක සංවාදයක් වෙන්න ගියොත් ගල්අඟුරු වංචාවෙන් රට ඉදිරියේ අපහසුතාවයට පත්වුණ ආණ්ඩුව මේ ඩීසල් මීලදී ගැනීමෙන් ලෝකය ඉදිරියේ අපහසුතාවයට පත්වීමේ අවධානමක් මතු වුණ නිසා තමයි විශ්වාස භංගයෙන් බේරා ගත් කෙනාව අන්ති මොහොතේ බිලි දුන්නේ.

කොමිසම ඉල්ලන තරමක් කාලය ලබා දිය යුතුයි

කුමාරවරු දෙන්නාගේ ඇඟේ දැලි අයින් කරන්න ගිහින් මාලිමා මන්ත්‍රිවරු සියලු ම දෙනාගේ ඇඟේ දැලි ගා ගත්තාට පස්සේ, වඩාත් සරලව කියනවා නම් දෙන්නෙක් හොරු වෙලා බේරා ගන්න තිබුණු ප්‍රශ්නය සමස්ත ආණ්ඩුවම හොරු බවට පත් කර ගත්තාට පස්සේ කුමාර ජයකොඩි ඇමති ධූරයෙන් ඉල්ලා අස් වෙනවා. මේක සමාන කරන්න පුළුවන් මුලින්ම එළුවාගේ බෙල්ල කපලා ඊට පස්සේ මුට්ටිය බිඳලා මහදැනමුත්තා මුට්ටියේ ඔළුව හිර කර ගත්තු එළුවාගේ ප්‍රශ්නය විසඳීමට විතරයි. ජනාධිපතිතුමා ඉතිහාසය පුරාම සිදුවුණු සියලු ම ගල්අඟුරු වංචා විමර්ශනය කරන්න කොමිසමක් පත් කරලා තිබෙනවා. නමුත් මුළු ඉතිහාසයම හොයන්න ලබා දීලා තිබෙන්නේ මාස හයයි. ඒ නිසා ඉතිහාසය දිගේ ඇවිත් 2026ට කොමිසම එන කොට කාලය ඉවර වෙලා කඩිමුඩියේ සාක්ෂි විභාගය අවසන් කිරීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා මේක 2026 විමර්ශනය නිසි ලෙස නොවන බවට වග බලා ගන්න අටවපු උප්පරවැට්ටියක් ද කියලාත් හිතෙනවා. ඒ නිසා කොමිසමට කාලය මදි වුණොත් කොමිසම ඉල්ලන තරමක් කාලය ලබා දිය යුතුයි කියලා අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා. කොමිසමේ බලපත්‍රයේ ජනාධිපතිතුමා කොන්දේසියක් දාලා තිබෙනවා කොමිසමට අවශ්‍ය නම් යම් යම් සාක්ෂි ප්‍රසිද්ධියේ නැතිව රහසේ ලබා ගත හැකියි කියලා. ගල් අඟුරු වංචාවක් වුණේ නෑ කියලා මාලිමා මන්ත්‍රිවරුන් තවමත් කියන නිසා ඇත්තට ම මොකද වුණේ කියලා දැන ගන්න ජනතාවට අවශ්‍යයි. ඒ නිසා කිසිම සාක්ෂියක් රහසේ කැඳවන්නේ නැතිව ජනතාවට දැන ගන්න ප්‍රසිද්ධියේ විමසන්න කියලා අපි කොමිසමෙන් ඉල්ලා සිටිනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න