ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී පියවරක් තබමින්, ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් ගමන් කළ හැකි ‘පත්ල පහත්’ (Low Floor) ප්‍රමුඛතා බස් රථ සේවාව හෙට (21) සිට ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මෙම සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. 'Clean Sri Lanka' වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන 430ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ.
පළමු අදියර යටතේ වායුසමනය කළ නවීන බස් රථ 10ක් ධාවනයට එක් කෙරේ.
රෝද පුටු භාවිත කරන්නන්ට ස්වාධීනව බස් රථයට ඇතුළු වීමට සහ පිටවීමට හැකි පරිදි ‘පත්ල පහත්’ (Low Floor) තාක්ෂණයෙන් යුක්ත අතර එක් බස් රථයක ආසන 33ක් ඇතුළුව මගීන් 80කට එකවර ගමන් කිරීමේ හැකියාව පවතී.
රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂිත තාක්ෂණික අංග සහ රඳවනයන්ගෙන් සමන්විතය.
මෙම බස් රථ සේවාව මාකුඹුර සිට පිටකොටුව සහ කඩවත දක්වා ධාවනය වීමට සැලසුම් කර ඇත. විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල වැනි ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථාන කරා ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට සහ රෝගීන්ට මෙමගින් විශාල සහනයක් සැලසෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා පොදු ප්‍රවාහන සේවය තුළ ආබාධිත පුද්ගලයන්ට පවතින බාධා ඉවත් කරමින් ඔවුන්ට ගෞරවනීය සහ සුරක්ෂිත ප්‍රවාහන පහසුකමක් ලබා දීම රජයේ මූලික අරමුණයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
