Image

ගල් අඟුරු අර්බුදය කෘෂිකර්මාන්තයටත් බලපෑම් කරන ලකුණු - දුමින්ද නාගමුව

ගල් අඟුරු අර්බුදය කෘෂිකර්මාන්තයටත් බලපෑම් කරන ලකුණු - දුමින්ද නාගමුව

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරි කාලයේ දී කෘෂිකර්මාන්තයට ජලය සැපයීමේ ගැටලුවක් මතු වීමට නියමිත යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.

ඔහු මෙම කරුණු හෙළිදරවු කළේ අද (15) නුගේගොඩ, මෙල්ඩර් පෙදෙසේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්‍යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ය.

සාකච්ඡාවේ දී ගත් තීරණවල වගකීම ආණ්ඩුව භාරගත යුතුයි

''මේ වනවිට ගල් අඟුරු ප්‍රමිතියෙන් තොරවීමේ ප්‍රශ්නය රට තුළ කතාබහට ලක්වූ ඉතාම බරපතළ ප්‍රශ්නයක් වී තිබෙනවා. මෙම ප්‍රශ්නය හමුවේ ආණ්ඩුව ගන්නා මුග්ධ තීරණ නිසා ඉදිරි කාලයේ දී කෘෂිකර්මාන්තයට ජලය සැපයීමේ ප්‍රශ්නයක් ඇති වෙන්න නියමිතයි. අපි මෙය හෙළිදරව් කරන්නේ මේ ගැන සමාජ කථිකාවක් ඇතිවූ පසුව හෝ මේ හානිය අවම කරන තීරණයකට ආණ්ඩුව ගෙන්වා ගන්න. 2026 මාර්තු 24 වැනිදා සවස 4.30ට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කැඳවූ සාකච්ඡාවකට ලාල්කාන්ත හා කුමාර ජයකොඩි යන ඇමතිවරුන් දෙදෙනාම එක්වී සිටියා. ඊට අමතරව කෘෂිකර්ම හා විදුලිබල ක්ෂේත්‍ර දෙකට අයත් නිලධාරීන් ගණනාවක් සම්බන්ධ වී සිටියා. ඇමතිවරුන් දෙදෙනාම සිටි නිසා මේ සාකච්ඡාවේ දී ගත් තීරණවල වගකීම නිලධාරීන් පිට පටවන්නේ නැතිව ආණ්ඩුව භාරගත යුතුයි.

වික්ටෝරියා ජලය වැඩිපුර නිකුත් කිරීමේ උත්සාහයක්

වික්ටෝරියා ජලාශය ඇතුළු ජලාශ වල ජලය භාවිතා වන්නේ බහුවිධ අරමුණු සඳහා. එහි ජලය භාවිතා වන්නේ විදුලි ජනනය සඳහා පමණක් නෙවෙයි. පානීය ජල අවශ්‍යතා සඳහා සහ කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා මේ ජලය යොදා ගන්නවා. දිට්වා සුළි කුණාටුව ඇතිවූ අවස්ථාවේ හානි අවම කර ගැනීමට ජලය නිදහස් නොකළේ මන්දැයි විමසද්දීත් කීවේ එම ජලය කෘෂිකර්මයට අවශ්‍ය නිසා ජලය මුදා නොහැරිය බව. නමුත් මෙම රැස්වීමේ දී තීරණයක් ගෙන තිබෙනවා කෘෂිකාර්මික අවශ්‍යතා නොසලකා හදිසි විදුලිබල අවශ්‍යතා වෙනුවෙන් වික්ටෝරියා ජලාශයේ ජලය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් නිදහස් කරන්න. වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාවය ජලය ඝනමීටර් මිලියන 405ක්. එම ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට නිශ්චිත මට්ටමක පවත්වාගෙන ගියොත් පමණයි පානීය ජල අවශ්‍යතා සැපිරිය හැක්කේ. නමුත් මෙම තීරණය හරහා ජලය එම මට්ටම ඉක්මවා නිදහස් කළ නිසා දැනටමත් මහනුවර, ජල සම්බන්ධතා 17,000කට ජලය සපයන බලගොල්ල ජල පොම්පාගාරය අකර්මණ්‍ය වී තිබෙනවා. එයින් ඝනමීටර් 12,000ක් ජලය දෛනිකව ජනතාවට ලබාදුන්නා. බලගොල්ල, කුණ්ඩසාලේ, දිගන ප්‍රදේශවල දසදහස් ගණන් ජනතාව පානීය ජලය නැතිව පීඩාවට පත්වෙලා. ජනතාව පමණක් නෙවෙයි ඒ ප්‍රදේශයේ ආයෝජන කලාපයට ජලය දෙන්නේත් මේ පොම්පාගාරයෙන්. ජලය නැතිව ඇතැම් කර්මාන්තශාලා අප්‍රේල් 10 නිවාඩු දුන්නා. විදෙස් රටවලින් පැමිණි ඇණවුම් භාර දෙන්න නොහැකිවී තිබෙනවා. මෙය රටේ ආර්ථිකයටත් විශාල පහරක්. පල්ලේකැලේ බන්ධනාගාරයට ජලය සැපයුවෙත් බලගොල්ල පොම්පාගාරයෙන්.

කුමාර ජයකොඩි ගේ කලිසම බේරා ගන්න ජලාශ හිස් කිරීමේ සූදානමක්

බාල ගල් අඟුරු වංචාව වහගන්න විශාල අර්බුදයක් ඇති කළා. දැන් විකල්පය ලෙස බවුසර් වලින් ජලය බෙදා හැරියත් දවසකට බවුසර්වලින් බෙදා හරින්නේ ඝනමීටර් 500ක් පමණයි. මෙම සාකච්ඡාවේදී ඔවුන් කියන්නේ පවතින විදුලි අර්බුදයට ජල විදුලිය මේ ආකාරයට නිෂ්පාදනය කළහොත් රුපියල් මිලියන 7260ක් ඉතිරි කරගත හැකි බව. බලශක්තියෙන් මෙම මුදල් ඉතිරිය කිරීම සඳහා වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාවය වන ඝනමීටර් මිලියන 405න් ඝනමීටර් මිලියන 330ක් අඩු කරන්න ඔවුන් සූදානම් වෙනවා. මේ තීරණයට අනුව අන්තිමේදී ඉතිරි වෙන්න නියමිත ඝනමීටර් මිලියන 75ක් පමණයි. එය ඊළඟ කන්නයේ කෘෂිකාර්මික කටයුතුවලට කොහෙත්ම ප්‍රමාණවත් නෑ. දැනට වික්ටෝරියා ජලාශයෙන් සතියේ දිනකට ජලය ඝනමීටර් මිලියන 6.5ක් සහ නිවාඩු දිනවල ජලය ඝනමීටර් 5ක් බැගින් ජලවිදුලි උත්පාදනය සඳහා මුදා හරින්න මෙම සාකච්ඡාවෙදී තීරණය කරලා. රන්ටැඹේ ජලාශයෙන් දෛනිකව ජලය ඝනමීටර් මිලියන 8.5ක් මුදා හරින්නත් තීරණය කරලා. තීරණය ගත්තේ ඝනමීටර් මිලියන 6.5ක් මුදා හැරීමට වුවත් තීරණය ගත් පසු මාර්තු 24 වැනිදා ඝනමීටර් මිලියන 6.9ක් සහ 25 වැනිද ඝනමීටර් මිලියන 7.5ක් මුදාහැර තිබෙනවා. මාර්තු 27 ඝනමීටර් මිලියන 7.7යි. ඒ කියන්නේ මේ ගත්ත තීරණයේ උපරිම සීමාවත් බොරුවක්. කුමාර ජයකොඩිගේ කලිසම බේරා ගන්න ජලාශ එහෙම පිටින්ම වුණත් හිස් කරන්න ආණ්ඩුව සූදානම්. මේ මුග්ධ විනාශකාරී තීරණය ගත්තේ එල්නිනෝ බලපෑමක් ගැන අනාවැකි පහළවී තිබියදී. අද මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට මේ තීරණයේ ප්‍රතිඵල ලැබී තිබෙනවා. මීළඟ කන්නය වපුරන්න සූදානම් වනවිට මහවැලි කලාප වල ගොවීන්ට මේකේ ප්‍රතිඵලය ලැබෙයි. තව මාස කීපයකින් ආහාර අර්බුදයක් හරහා මුළු රටේම ජනතාවට මේ තීරණයේ ප්‍රතිඵල විඳවන්න වෙයි.

මාලිමා ආචාරියා ගේ කඩතොලු වසා ගැනීම

ආණ්ඩුවම නිර්මාණය කළ බාල ගල් අඟුරු අර්බුදය වසා ගැනීම සඳහා පානීය ජල අර්බුදයක් සහ ආහාර අර්බුදයක් ඇති කරන්න මේ තීරණය අරන් තියෙන්නේ. එකක් කඩතොලු වසා ගන්නට ගිහින් සියක් කඩතොලු හදා ගන්නවා මාලිමා ආචාරියා. ඉංජිනේරුවන් කියන ආකාරයට කවදාවත් මීට පෙර පායනා කාලයක මේ ආකාරයට ජලාශ හිස්කර නැහැ. අවුරුදු 76ක සාපය අවසන් කරන්න කියලා ආව ආණ්ඩුව ඒ සාපය තව අවුරුදු ගණනකට දිගු කරනවා පමණක් නෙවෙයි, මෙතෙක් සිදු නොවුනු ආකාරයේ විනාශයන් සිදු කරනවා. අපි බල කරනවා මේ තීරණය වහාම හකුළා ගන්න කියලා. වහාම ජල කළමනාකරණ සාකච්ඡාව නැවත කැඳවලා කෘෂිකර්මය, ජල විදුලිය, පානීය ජලය, ජලය අවශ්‍ය කර්මාන්ත ආදී බහුවිධ පාර්ශව සලකා බලා වෙනස් තීරණයක් ගත යුතුයි. නැතිනම් ඉදිරි කාලයේ එන සමස්ත අර්බුදයේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.''

සටහන ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න