අද මේ රටට සිදුවී ඇත්තේ දේශපාලන පක්ෂ තමාට මන්ත්‍රීවරයෙකු වීමට, තමා ගේ පක්ෂයට බලය ලබා ගැනීම සඳහා, තමාට අගමැතිවරයෙක් වීම සඳහා, තමාට ජනාධිපතිවරයෙක් වීම සඳහා විවිධ අවස්ථාවල බොරු කීම හේතුවෙන් ශ්‍රී ලංකාව බලවත් ලෙස කඩා වැටීම යැයි ඒක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ දේශපාලනයේ කාර්යාලයේ අද (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන
මේ ආණ්ඩුව තමයි ලංකා ඉතිහාසයේ වැඩි ම බොරු ප්‍රකාශ කරපු ආණ්ඩුව
''ආණ්ඩුවක් රට පාලනය කරන විට, ආණ්ඩුවක් මහජනතාවට කරුණු කියන විට, තමන් ඒ රට පාලනය කිරීම සඳහා බලය ලබා ගැනීම සඳහා බොරු නොකියා සිටීම ඉතාම වැදගත්. ඒ නිසා තමයි අපි මතක තබාගත යුත්තේ, වර්තමාන පාලන යන්ත්‍රයත් ලංකා ඉතිහාසයේ වැඩිම බොරු ප්‍රකාශ කරපු රජයක් බවට පත්වෙලා තිබෙනවා. මෙම රජයේ ඒ බොරු කීමේ ප්‍රතිඵලයක් හැටියට මුළු මහත් රට අද කඩා වැටෙමින් තිබෙන්නේ. මුළු මහත් රට විනාශ වෙමින් තිබෙන්නේ. අවුරුදු 78ක් මේ රට පාලනය කරපු දේශපාලන පක්ෂ මේ රට ගොඩනැගීමට ක්‍රියා කර තිබුණත්, තම තමන්ට ඇමතිවරයෙක්, අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක් වීමේ සිහිනය නිසා ශ්‍රී ලංකාවේ මහජනතාව මුළා කරමින් මහජනතාවත් මුළා වෙමින් විවිධ රජයන් පිහිටුවලා මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා බිඳ දමා ඇති බවත් මතක තබාගත යුතුයි.
බොරුකීම නැවැත්වීම තමයි රටට කරන ලොකුම උපකාරය
දේශපාලන පක්ෂ බලය ලබා ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමේදී මින් ඉදිරියට බොරුකීම නැවැත්වීම තමයි රටට කරන ලොකුම උපකාරය; මහජනතාවට කරන ලොකුම උපකාරය. අපි මතක තබාගත යුතුයි 2000 පාලන යන්ත්‍රය වසරකින් කඩාගෙන වැටුණා. හේතු තමයි එක බොරු කීම, දෙක ඒ බොරු පවත්වාගෙන යෑමට නොහැකි නිසා ආර්ථික වශයෙන් කඩා වැටෙන විට 2001 දෙසැම්බර් මාසේ නැවත මහා මැතිවරණයක් පැවැත්වීමට සිදුවීම. 2001 ඒ රට භාරගත් අවස්ථාවේදීත් රනිල් වික්‍රමසිංහ මහතා, ඔහුට ඉලක්කයක් තිබුණු නිසා ඔහු එකපාරට මහජනතාවට සහන ලබා දෙමින් පෙට්‍රල්, ඩීසල්, ගෑස් මිල අඩු කරමින්, වෙනත් අංශවල සත්‍ය ප්‍රකාශ කරමින් රට ඉදිරියට ගෙන යන විට 2004 අප්‍රේල් මස දහ වෙනි දින ජනතා විමුක්ති පෙරමුණ මුල් වී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සමග එම ආර්ථිකය කඩා බිඳ දැමූ බව අප මතක තබාගත යුතුයි.
රටේ ආර්ථිකය බොරු කීම නිසා කඩා වැටීමේ ප්‍රතිඵලයක්
නැවත දෙදහස් පහළොවේ ජනවාරි මස, දෙදහස් දාහතරේ අගභාගය වන විට රටේ ආර්ථිකය බොරු කීම නිසා කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරි අට වෙනි දින රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය හැටියටත්, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති හැටියටත් නැවත ඉලක්ක සහගත වැඩපිළිවෙළක් තිබුණු නිසා රට භාරගෙන, පෙට්‍රල් ඇතුළු ද්‍රව්‍යවල මිල ගණන් පහත දැමුවා. රුපියල් 150 තිබූ පෙට්‍රල් 92, රුපියල් 117 දක්වා අඩු කළා. රුපියල් 158 ට තිබුණු පෙට්‍රල් 95 ලීටරය රුපියල් 128 ට අඩු කළා. රුපියල් 111 ට තිබුණු සාමාන්‍ය ඩීසල් ලීටරය, රුපියල් 95 ට අඩු කළා. රුපියල් 138 ට තිබුණු සුපර් ඩීසල් රුපියල්110 දක්වා අඩු කළා. රුපියල් 91 ට තිබුණු භූමිතෙල් ලීටරය රුපියල් 65 දක්වා අඩු කළා. කිලෝග්‍රෑම් දොළහමාරේ ගෑස් සිලින්ඩරය රුපියල් 2400 තිබෙන විට, එම ගෑස් සිලින්ඩරය රුපියල් 1600 දක්වා අඩු කළා. ඒ ජනවාරි 8 වෙනිදා රනිල් ඉටුකළ විදිහයි.
රටක් භාරගන්නා විට නායකයාට ඒ සඳහා වැඩපිළිවෙලක් තිබිය යුතුයි. ඒ අනුව මහජනයාට සහන ලබා දීමට 2015 ජනවාරි 08 වෙනිදායින් පසු ආර්ථික වැඩපිළිවෙලක් සහිතව ඉදිරියට ගියා.
කොහොම නමුත් ජාතිවාදය, ආගම්වාදය හිස එසවීමේ ප්‍රතිඵලයක් හැටියට 2019 පැවැති ජනාධිපතිවරණයෙන් එවකට පැවැති රජය පරාජයට පත් වී නව රජයක් පාලන යන්ත්‍රය බාරගන්නවා. ඒ පාලන තන්ත්‍රයත් නැවත බොරු කීම නිසා 2022 මැයි මාසේ 12 වෙනිදා වන විට රනිල් වික්‍රමසිංහ මහතාට භාර ගැනීමට සිදුවුණා.
2022 මැයි මාසේදීත් රට භාරගන්නා විට රනිල් වික්‍රමසිංහ මහතාට ඉලක්කයක් තිබුණා
එතුමා එය භාරගෙනත් ඒ අවස්ථාවේ පැවැති මිල ගණන් අඩු කර ජනතාවට සහන ලබාදුන්නා. රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගන්නා විට පෙට්‍රල් 92 ලීටරය රුපියල් 550 ට ගොස් තිබුණා, එය රුපියල් 370 ට අඩු කරගත්තා. පෙට්‍රල් 95 රුපියල් 600ට ආසන්න වෙලා තිබුණා, එය රුපියල් 420 ට අඩු කරගත්තා. සුපර් ඩීසල් රුපියල් 500 ට ගිහිල්ලා තිබුණා, එතුමා එය රුපියල් 350 ට අඩු කරගත්තා. ඔටෝ ඩීසල් රුපියල් 460 ට තිබුණු එක රුපියල් 300 ය දක්වා අඩු කරගන්න ක්‍රියා කළා. රුපියල් 5000 ත් 6000 ත් අතර තිබුණු 12.5KG ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 3000 ත් 4800 ත් අතරට ගෙනාවා. භූමිතෙල් රුපියල් 340 ට තිබුණු එක රුපියල් 250 දක්වා අඩු කරගත්තා. එතකොට 2022 මැයි මාසේදීත් රට භාරගන්නා විට රනිල් වික්‍රමසිංහ මහතාට ඉලක්කයක් තිබුණා.
රටට මේ විනාශ වෙලා තිබෙන්නේ ඉලක්කයක් නොමැතිව රට භාර ගැනීම නිසා
2024 සැප්තැම්බර් මාසේ රනිල් වික්‍රමසිංහ මහතා, අනුර කුමාර ජනාධිපතිතුමාට රට භාර දෙන විට තිබූ මිල ගණන් අද වෙනස් වී ඇත්තේ මෙසේය. රුපියල් 344 ට තිබුණු පෙට්‍රල් ලීටරය අද රුපියල් 398 වෙලා තිබෙනවා. සුපර් පෙට්‍රල් 95, 379 ට තිබුණු එක අද රුපියල් 455 ක් වෙලා තිබෙනවා. ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 2892 ට භාර දීපු එක රුපියල් 4765 ට වැඩි කරගෙන තියෙනවා. ලාෆ්ස් ගෑස් සිලින්ඩරය රුපියල් 3600 ට තිබුණු එක අද රුපියල් 5700 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. දැන් අපි මතක තබාගත යුතුයි, ඉලක්කයක් නොමැතිව රටවල් භාර ගැනීම නිසායි මේ රටට මේ විනාශ වෙලා තිබෙන්නේ.
රට බංකොලොත් වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා එක් පැත්තකින් අලුත් පනත් 92 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, එයින් හැත්තෑ ගණනක් පාර්ලිමේන්තුවේ සම්මත කරමින්, නව මාවතකට ආර්ථිකය ගෙන යන්න අවශ්‍ය පියවර තැබුවා.
එතුමා ආර්ථික පරිවර්තන පනත 2024 දී සම්ම්ත කළා, එතුමා 2023 දී මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත වගේම පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ස්ථාපනය කිරීමට කටයුතු කළා, දූෂණ විරෝධී පනත සහ මහ බැංකු පනත සම්මත කළා. මේ ආකාරයට ඉතා වැදගත් පනත් රාශියක් සම්මත කරමින් රට යථා තත්ත්වයට පත් කරා. නමුත් සැප්තැම්බර් 21 වෙනිදා එතුමා භාර දුන් රට අද සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ඒ බාරදුන්නේ ඩොලරය රුපියල් 290 යි, 291යි. දැන් ඩොලරය රුපියල් 320 යි.
එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බාර ගත්තේ නීතියෙන් ඩොලර් 1 රුපියල් 380 වේ තියෙනකොට. නමුත් එළියේ ඩොලරය රුපියල් 450 යි 500 යි. ඩොලර් දකින්න නැහැ. හොයාගන්න නැහැ. එහෙම බාර අරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා අවසානයේ 2024 සැප්තැම්බර් 21 වෙනිදා අනුර ජනාධිපතිතුමාට බාර දුන්නේ ඩොලරය රුපියල් 290 ට, 291 ට තියලා. එතකොට මේ වසර 1 ½ ගත වෙනකොට ඩොලරය රුපියල් 320 ට ගෙනවිත් තිබෙනවා. එක රුපියලකින් වැඩි වෙනවා කියන්නේ මහා භාණ්ඩාගාරයේ තියෙන ණය කන්දට එකතු වෙනවා රුපියල් බිලියන 37 ක්. එතකොට මහා භාණ්ඩාගාරයේ තියෙන ණය වලට එකතු වෙලා තිබෙනවා ට්‍රිලියන 1.2 ක්. ඒ කියන්නේ තවත් රුපියල බාල්දු වුනොත් ජුනි මාසය ජූලි මාසය වෙනකොට මේක ට්‍රිලියන දෙකකට යයි. ඒ කියන්නේ මේ වෙනකොට ආර්ථික පනත අනුව හරිනම් ඩොලරය තියාගන්න තිබුනේ රුපියල් 250 ත් 275 ත් අතරේ. එහෙනම් රට විනාශ කිරීම ආණ්ඩුව විසින් කරනවා. එහෙනම් දැන් අපිට තියෙන්නෙ ආණ්ඩුව කරන විනාශයෙන් කොහොමද රටත් ජාතියත් බේරගන්නේ කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිතිතුමාට තීරණය කරන්න කියලා මතක් කරන්න කැමතියි.
මේ පාලන යන්ත්‍රය තුළ මහජනතාව මහා පීඩනයකට ලක් වෙලා
එයට ප්‍රධාන හේතුව බොරු කීම. ශ්‍රී ලංකාවට අනාගතයක් අවශ්‍ය නම් දේශපාලඥයන් සහ දේශපාලන පක්ෂ බොරු කීම නැවැත්විය යුතුයි. මින් ඉදිරියට බොරු කීවොත් මහජනතාව විසින් බොරු කියන අයට අනිවාර්යයෙන් දඬුවම් දෙයි. වර්තමානයේ ආණ්ඩුව බේරී තිබෙන්නේ, “යුද්ධය නිසා තමයි මේ ප්‍රශ්නේ” කියලා. යුද්ධය තිබෙද්දී ලෝකේ රටවල් මහජනයාට මහා සහන ගොඩක් ලබා දීලා තියෙනවා. මම ඒක විග්‍රහ කරන්න යන්නේ නෑ. සිංගප්පූරුවේ යුද්ධයක් තියෙනවද කියලා දන්නෙවත් නෑ. ආර්ථිකය ශක්තිමත්. ඒක හරියට අපි මතක තබාගත යුතුයි.
තමන් නිවසක් පාලනය කරන විට හදිස්සියක් වුනහම භාවිතා කරන්න රත්තරන් බඩු හරි මොනවා හරි අරන් තියාගන්නවා. එහෙම නැත්නම් මුදල් වෙන් කරලා තියාගන්නවා. හදිස්සියක් වුනාම ඒ මුදල් භාවිතා කරනවා. ආණ්ඩුවක් වුනාම හදිසි අවස්ථාවක රට ක්‍රියා කරන්නේ කොහොමද කියලා සැලැස්මක් තිබිය යුතුයි. එසේ සැලැස්මක් නැති මෙවැනි පාලකයන් විසින් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා.
එම නිසා මේ පාලන යන්ත්‍රය තුළ මහජනතාව මහා පීඩනයකට පත් වී තිබෙනවා, ඉතාම අසීරු තැනකට පත් වී තිබෙනවා. මේ සිංහල අවුරුද්දත් අනාගතයේ සෑම දිනයක්මත්, සෑම උත්සවයක්මත් විනාශ මුඛය කරා ඇද දමා තිබෙනවා. බෞද්ධ දර්ශනය අනුව බොරු කීම මහා පාප කර්මයක්. මේ අය විසින් කියන ලද බොරු අප විග්‍රහ නොකළ යුතුයි. ඒ අය විසින්ම ඒ අයගේ කතා ඔබට ඉදිරිපත් කිරීමෙන් පෙනී යනවා මොන තරම් බොරු කන්දරාවක් මහජනතාවට සමාජගත කළාද කියලා. ඔවුන්ට තිබුණේ එක ඉලක්කයයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම නැමැති බෞද්ධ දර්ශන විරෝධී වැඩපිළිවෙලක් පමණයි. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ මේ ශ්‍රී ලංකාවේ බෞද්ධ දර්ශනය විනාශ කිරීම සඳහාද ඔවුන්ගේ පූර්ණ අවධානය යොමු වෙලා තිබෙනවා.
මේ ජනවරමින් සිදුවූ වැදගත් ලක්ෂණය
නමුත් අපි මතක තබාගත යුතු වැදගත් දෙයක් මේ අයගෙන් සිදු වුණා. බෞද්ධ දර්ශනයට, අනිත් ආගම්වලට කරන ලද නිගරු කිරීම වංචනික ලෙස හෝ පෙනී සිටීමට මේ අයට සිදුවුණා. මේ ජනවරමින් සිදුවූ වැදගත් ලක්ෂණයක් නම් වංචනික ලෙස හෝ මහා සංඝරත්නයට වැඳ නමස්කාර කිරීම, වංචනික ලෙස හෝ ධාතූන් වහන්සේ තමාගේ හිස මත තබා වැඩම කරවීම, වංචනික ලෙස හෝ ස්වාමීන් වහන්සේට දණගසා වැඳ නමස්කාර කිරීමට සිදුවීම. ඒ නිසා මේ ජනවරමේ එවැනි අධර්මිෂ්ඨ සමාජයක සිටි පිරිස් සමාජගත කිරීමට හැකිවීමත් එම ජනවරමේ මහා පුණ්‍ය බලයක් බව අප මතක තබාගත යුතුයි. මේ රට නැවත යටත් විජිතයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලාංකික මහජනතාව මතක තබාගත යුතුයි. එම නිසා මේ රට ගොඩනැගීමට නම් කල්පනාවෙන් ශ්‍රී ලාංකික මහජනතාව ක්‍රියා කළ යුතුයි. තවදුරටත් දේශපාලන පක්ෂ මෙසේ බොරු කියමින් අපේ රටේ දේශපාලන පදනම විනාශ කළහොත් මේ රට නැවත යටත් විජිතයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලාංකික මහජනතාව මතක තබාගත යුතුයි.
රනිල් වික්‍රමසිංහ VIII වැනි විධායක ජනාධිපතිතුමා, ඔහු සත්‍ය ඔස්සේ සත්‍ය නැමැති දර්ශනය මාර්ගයේ ගමන් කරමින් ශ්‍රී ලංකාව සුවපත් කිරීම සඳහා කටයුතු කළා. වර්තමානයේ රට මුහුණ පා ඇති තත්ත්වය යුද්ධය නිසා නොව වර්තමාන ආණ්ඩුව බොරු කියමින් ගෙන යන වැඩපිළිවෙල නිසා බව අප මතක තබා ගත යුතුයි. නොබෝ දිනකින් මෙම පාලන යන්ත්‍රයේ පාලනය අවසන් කිරීම රජය විසින් කරනවා. මෙම රජය විසින් කියන්නාවු බොරු කන්දරාවේ ප්‍රතිඵලයක් ලෙස එම රජයත්, ආර්ථික වශයෙන් රටත් කඩා වැටී විනාශයට පත්වීම වැළැක්විය නොහැකියි.
මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සහ ඒවාට වජිර අබේවර්ධන මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.
ප්‍රශ්නය -
මෙච්චර කල් මේ රට පාලනය කරපු, හය වතාවක් මේ රටේ අගමැතිවරයා වුණු, 2022 දී Viii වැනි විධායක ජනාධිපතිවරයා වුණු, රනිල් වික්‍රමසිංහ මහත්තයා, ඇයි ලංකාවෙන් බෙහෙත් ගන්නෙ නැතුව සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්න ගියේ? ඒ කියන්නේ ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ගැන ඔබතුමන්ලට විශ්වාසයක් නැද්ද?
පිළිතුර -
ඔබ ඇහුවේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඒකට මම මෙහෙම උත්තර දෙන්නම්. 2025 අගෝස්තු මාසේ 22 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට එන්න කියන්න කියනවා. එතුමා ප්‍රකාශය ලබාදුන්නාට පස්සේ එතුමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට අරගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරනවා.
රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගියේ 2025 අගෝස්තු 22 වැනිදා උදෑසන 9:30 ට පමණ. ඒ අවස්ථාවේදී පැය පහකට, හයකට ආසන්න කාලයක්, දවල් 1:30 වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ තියාගන්නවා. එතනින් පස්සේ, එතුමාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා සවස 3:00 ට පමණ. ඊට පස්සේ එතැන් සිට අධිකරණයේ පැය අටකට අධික කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා උසාවියට ඉදිරිපත් කිරීම ගැන විනිසුරුවරයා කරුණු සලකා බලමින් තිබුණා. පසුව රාත්‍රී 8:00 ට පමණ විදුලිය විසන්ධි වෙලා පැයකට අධික කාලයක් විදුලිය නොමැතිව තිබුණා. එවැනි තත්ත්වයකට පසුව මහේස්ත්‍රාත්වරයා විසින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගෝස්තු මාසේ 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රාත්‍රී 10:00 ට පමණ තීන්දුවක් ලබාදෙනවා.
දැන් ඒ තීරණයෙන් පස්සේ උසාවි භූමියෙන් රාත්‍රී 10:30 ට පමණ රනිල් වික්‍රමසිංහ මහතා මැගසින් බන්ධනාගාරය වෙත අරගෙන ගියා. එපමණක් නෙවෙයි, මැගසින් බන්ධනාගාරයට ගෙනියනකොට රාත්‍රී 11:00 පමණ වුණා. ඒ අවස්ථාවේ දී එතුමාගේ අධික රුධිර පීඩනය සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් බන්ධනාගාරයෙන්, බන්ධනාගාර රෝහලට ඇතුල් කරන්න සිද්ධ වුණා. ඊට පහුවදා එනම් අගෝස්තු මාසේ 23 වැනිදා සවස රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට විශේෂඥ වෛද්‍යවරු තීරණය කළා.
අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා හදීසි ප්‍රතිකාර ඒකකයට (ICU) ඇතුළත් කරන්න සිදුවුණා. එපමණක් නෙවෙයි, පසුව අගෝස්තු මාසේ 26 වැනිදා කොටුව මහේස්ත්‍රාත් ඉදිරියේ නඩුව කැඳවන අවස්ථාව වන විට රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගතවයි සිටියේ. ඒ නිසා සූම් තාක්ෂණය හරහා තමයි එතුමා අධිකරණයට ඉදිරිපත් වුණේ.
කෙසේ නමුත් එදින ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත එතුමාව මුදා හැරීමට අධිකරණය තීරණය කළා. කෙසේ හෝ එතුමා මේ තත්ත්වයට පත්වීමට මේ ඉහතින් සඳහන් කළ කාරණා ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්, එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය, එතුමා කලමනාකරණය කරගෙන ජීවත් වූ පුද්ගලයෙක් හැටියට. කොහොම නමුත් අගෝස්තු 29 වෙනිදා දක්වාම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්න රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවුණා. ඉන්පසුව 29 වෙනිදා සවස 3:00 ට පමණ එතුමා කොළඹ ජාතික රෝහලෙන් පිටත් වුනා. නමුත් පුවත්පත්වල කියලා තිබුණා රනිල් අධිකරණයට වංගු දැම්මා කියලා. ඒ විතරක් නෙමෙයි, වෛද්‍යවරුන්ටත් මේ ගැන බොරු වාර්තා ලියලා තිබුණා කියලා ඔවුන්ටත් අපහාස කළා.
අවුරුදු 76 ක් මේ රට පාලනය කරපු පාලකයින් රටේ සෞඛ්‍ය ඉතාමත් හොඳ තැනකට ගෙනත් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරු රහස් පොලීසියට කැඳවීම හෙළා දකිනවා. අපි අදක්ෂ වුණා සත්‍ය ආණ්ඩුකරන ඇතිකරන්න. එය ඉතාමත් නරක විදිහට රටට බලපෑවා. මේ විතරක් නෙමෙයි. කොළඹ ජාතික රෝහලේ දින හයක් ප්‍රතිකාර ලබලා පිටවෙලා ගියාට පස්සෙත්, කොළඹ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු හත්දෙනෙක් රහස් පොලීසියට විටින් විට කැඳවලා ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තියට කැළලක් වන පරිදි රනිල් වික්‍රමසිංහ මහතා ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහ ඒ ලියපු වාර්තාව පිළිබඳව විභාග කිරීම් සිදුවුණා. මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඒ විශේෂඥ වෛද්‍යවරු හත්දෙනාම රහස් පොලිසියට විටින් විට කැඳවමින් මේ ප්‍රතිකාර කිරීම හේතු කොටගෙන කටඋත්තර ලබාදීමට සිදුවුණා.
දැන් ඔබ ඇහුවේ රනිල් වික්‍රමසිංහ මහතා ඇයි සිංගප්පූරුවට ගියේ කියලා. එතකොට එතුමාට එවැනි බරපතළ තත්ත්වයක් තිබෙන බවට වාර්තා කරන ලද විශේෂඥ වෛද්‍යවරු හත්දෙනාට කරන ලද මානසික පීඩනය දෙස බැලූ විට, නැවත එතුමා වෙනත් ශල්‍යකර්මයක් සඳහා ඉදිරිපත් වුවත් කුමන ආකාරයට රහස් පොලීසිය සහ රජය හැසිරෙයි ද කියන කාරණය පිළිබඳව බලවත් සැකයක් පවතිනවා.
අවසාන වශයෙන් මතක තබා ගත යුතුයි. 76 වසරක් ඉතාමත් හොඳ නිදහස් සෞඛ්‍ය පද්ධතියක් සහ ඉතාමත් දක්ෂ වෛද්‍යවරු නිර්මාණය කරන්න අපි සමත් වෙලා තිබෙනවා. නමුත් 76 වසරක් පුරාවට අපි අසමත් වෙලා තිබෙනවා හොඳ රාජ්‍යයක් සහ හොඳ ආණ්ඩුකරණයක් ඇති කරන්න. ඒ නිසා විදෙස් රටක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිකාර ගැනීම තුළ වෛද්‍යවරු රහස් පොලීසියට ගෙනියන්නත් බැහැ, එවැනි ප්‍රශ්නයක් ඇති වන්නෙත් නැහැ, එවැනි සැක සහිත අවස්ථාවක ගත යුතු හොඳම තීරණය තමයි, ශ්‍රී ලංකාවෙන් බැහැර වෙලා අදාළ ප්‍රතිකාර ලබා ගැනීම. ඉතින් මෙවැනි තත්ත්වයන් කාගේ පාලනයක් තිබුණත් නොකළ යුතු කාර්යයන් ලෙස මතක තබාගත යුතුයි.
වජිර අබේවර්ධන - එක්සත් ජාතික පක්ෂ සභාපති
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
