පසුගිය අප්‍රේල් 1 වැනිදා පෘථිවියෙන් සමුගෙන, හරියට ම දවස් 6 කට පස්සේ අද (අප්‍රේල් 7) හඳ වටේ රවුමක් ගහලා ආපහු එන්න පිටත් වුණු Artemis II කණ්ඩායම ගැන දැන් මුළු ලෝකයම කතා වෙනවා.
ඒත් ලංකාවේ අපේ අය අතර මේ ගමන ගැන වැඩියෙන්ම කතා වෙන්නේ විද්‍යාව ගැන නෙවෙයි, "පිරිමි තුන්දෙනෙක් මැදට ගෑනු කෙනෙක් ගියේ මොකටද?" කියන එක ගැනයි.
සමහරුන්ට මේක විහිළුවක් වුණාට, නාසා ආයතනය ක්‍රිස්ටිනා කෝච්ව මේ ගමනට තෝරාගත්තේ ඇයි කියන එක පිටුපස තියෙන්නේ ඉතාමත් ප්‍රබල විද්‍යාත්මක සහ වෘත්තීයමය හේතු කිහිපයක්..
ඇය පිරිමින්ටත් අභියෝග කළ "වාර්තාධාරිනියක්"
ක්‍රිස්ටිනා කෝච් කියන්නේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්. ඇය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) දින 328 ක් එක දිගට රැඳී සිටිමින් කාන්තාවක් අභ්‍යවකාශයේ ගත කළ වැඩිම කාලය පිළිබඳ වාර්තාවට හිමිකම් කියනවා. ඒ වගේම ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් පමණක් සහභාගී වූ "අභ්‍යවකාශ සක්මන" (Spacewalk) සිදු කළේත් ඇයයි. ඇය මේ ගමනට ආවේ කවුරුත් දාපු නීතියකට නෙවෙයි, ඇගේ සුදුසුකම නිසයි.
යානයේ "තාක්ෂණික මොළය" ඇයයි
යානයේ වැසිකිළිය කැඩුණත්, විදුලි පද්ධතියේ දෝෂයක් ආවත් ඒක හදන්න ඉන්නේ ක්‍රිස්ටිනා. ඇය විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක්. අභ්‍යවකාශ යානයක් ඇතුළේ වැඩ බෙදෙන්නේ ගැහැනු/පිරිමි භේදයට නෙවෙයි, තමන් ප්‍රගුණ කළ ශිල්පය අනුවයි. යානයේ ඇති අතිශය සංකීර්ණ පද්ධති නඩත්තු කිරීමේ ප්‍රධාන වගකීම ඇය සතුයි.
මීළඟ සඳ ගමනට ඇගේ දත්ත අත්‍යවශ්‍යයි
ආටෙමිස් III මෙහෙයුමෙන් ලොව ප්‍රථම කාන්තාව හඳ මතට ගොඩබැස්වීමට නාසා ආයතනය සූදානම් වෙනවා. ඒ ගමනට කලින්, ගැඹුරු අභ්‍යවකාශයේදී ඇති වන විකිරණ සහ ගුරුත්වාකර්ෂණ වෙනස්කම් කාන්තා ශරීරයට බලපාන ආකාරය ගැන දත්ත එකතු කරන්න ක්‍රිස්ටිනා කෝච්ට වඩා සුදුසු කෙනෙක් ලෝකයේම නැහැ.
පිරිමි 3ක් සහ ගැහැනියක්: එය විහිළුවක් ද?
බොහෝ දෙනෙක් අසන "වල්" ප්‍රශ්නවලට ඇත්තේ ඉතා සරල පිළිතුරකි. මේ හතරදෙනා වසර ගණනාවක් තිස්සේ කැලෑවල, අයිස් කඳුවල සහ මුහුදු පත්ලේ අතිශය දුෂ්කර පුහුණු වීම් එකට ලැබූ පිරිසකි. ඔවුන් අතර ඇත්තේ "සගයන්" (Teammates) අතර පවතින වෘත්තීයමය ගෞරවය මිස වෙනකක් නොවේ. ඔවුන් ගේ සෑම තත්පරයක්ම පෘථිවියේ සිට නිරීක්ෂණය කරන අතර, ඔවුන් එහි ගොස් සිටින්නේ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කිරීමටයි.
අනාගතයට දෙන ආදර්ශය
ක්‍රිස්ටිනා කෝච් මේ යානයේ අසුන්ගෙන සිටීම, ලෝකය වටා සිටින මිලියන සංඛ්‍යාත ගැහැනු දරුවන්ට දෙන පණිවිඩය වන්නේ "ඔබටත් අහස ජය ගත හැකියි" යන්නයි. ඇය එහි යන්නේ උයන්න හෝ පිරිමින්ව පාලනය කරන්න නොව, විද්‍යාවේ සීමා මායිම් අලුතින් ලියන්නයි.
ඉතින්, ලාංකිකයන් විදියට අපිත් හිනා වෙන එක නතර කරලා, මේ වීරවරිය සහ ඇගේ කණ්ඩායම පෘථිවියට නිරුපද්‍රිතව පැමිණෙන තෙක් සුබ පතමු!
උපුටා ගත්තේ ''Nomad Diaries'' face book පිටුවෙන්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
