ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් ඊයේ (02) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ලංකාවට පැමිණි රුසියානු ජාතිකයන් ගෙන් තමන්ට ශ්‍රී ලංකාව අතිශය සුන්දර රටක් බවත් එහි සිටින ජනතාව ඉතා සුහදශීලී ජනතාවක් බවත් දැනගන්නට ලැබුණු බවයි. ශ්‍රී ලංකාව රුසියාවේ ඉතාමත් පැරණි මිතුරකු බව සිහිපත් කළ හෙතෙම, මෙම දීර්ඝකාලීන සුහදතාව තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව සහතික කළේ ය.
තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවට සහයෝගය අවශ්‍ය සෑම අවස්ථාවක ම ඒ වෙනුවෙන් පෙනී සිටීමට රුසියාව සූදානමින් සිටින බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අසීරු අවස්ථාවේ දී අවශ්‍ය රුසියානු තෙල් කඩිනමින් සැපයීමට පියවර ගන්නා බවත්, රුසියානු ආයෝජකයින් ලංකාවේ නව ආයෝජන සඳහා යොමු කිරීමට මෙන්ම තව තවත් සංචාරකයින් මෙරටට එවීමට උපරිම උත්සාහ ගන්නා බවටත් ඔහු පොරොන්දු විය. එසේම දෙරටේ පැරණි මිතුදම වෙනුවෙන් ඕනෑම ආකාරයක සහයෝගයක් ලබාදීමට එකඟ වූ හෙතෙම, රුසියාවේ දී මියගිය ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ සාමාජිකයින් වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහි දී එකඟතාව පළ කළේ ය.
ශ්‍රී ලංකාව දැඩි බලශක්ති අවශ්‍යතාවයකින් පසුවන අවස්ථාවක අපගේ පැරණි මිතුරකු වන රුසියානු රජය මෙහි දී ප්‍රකාශ කළේය. වසර 70කට ආසන්න කාලයක් පවතින දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට සුදුසුම කාලය එළඹ ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි කාලයේ දී රුසියාව සමග තවත් දීර්ඝකාලීන වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට කටයුතු කරන බව ද මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
සකීෆ් සාම් - මාධ්‍ය ලේකම්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
