2017 වසරේ අප්‍රේල් 14වන දින මීතොටපුල්ලෙහි කුණ කන්ද නාය ගොස් ගමේ මිනිස්සු තිස් දෙකක් කුණුකන්දට යට වී මිය ගිය බවත්, ගෙවල් 300ක් විනාශ වූ බවත්, දහම්පුර, පන්සල්හේන යනාදි ගම්, ගම්පිටින්ම නාය ගොස් ඒ ගම් සුසාන භූමි බවට පත්වූ ආකාරය ලංකාවේ ජනතාවට මතක දැයි අවිශ්වාස ය.
නමුත් එදා මිය ගිය, අතුරුදන් වූ පිරිස ගේ: ඥාතින්, හිතමිත්‍රාදීන් තමන් ගේ සටන අත් නොහළහ. ඒ අත් නොහළ සටනේ ප්‍රතිඵල ඊයේ (31) ඔවුන් අත්පත් කරගෙන ඇත.
ඒ. දස බසරකට පසු ඊයේ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වීම ය. එම තින්දුවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ මීතොටමුල්ලට කුණු දැමීම හරහා කොළඹ නගර සභාව ඇතුළු ආයතන අවට ජනතාව ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළා බවයි.
මතු පළ වන්නේ එම තීන්දුව පිළිබඳව සහ අදාළ නඩුකරය පවත්වාගෙන යෑම සඳහා සහයෝගය ලබා දුන් නීතිඥවරුන්ට කළ ස්තුති පූර්වක ලියවිල්ල ය.
2016 අවුරුද්ද වෙනකොට මීතොටමුල්ලේ තිබුණෙ අඩි ගාණක් උස කුණු කන්දක්. ඒ වෙනකොට යහපාලන ආණ්ඩුව බලයට පත්වෙලා. යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් උනෙත් කුණු දාන එක නතර කරනවා කියලා. රනිල් වික්‍රමසිංහ අගමැති වුණ ගමන් මාසයක් ඇතුළත අපිට සාකච්ඡාවකුත් දුන්නා.
හැබැයි කිසිම උත්තරයක් කුණු කන්දට දුන්නේ නෑ. අන්තිමට ගෝඨාභයල කළා වගේම අපි විරෝධතා දක්වද්දී අපිට ගහලා අපිව අත්තඩංගුවට ගත්තා. කොහොම වුනත් විකල්ප ක්‍රියාමාර්ගයක් විදිහට අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් දෙකක් 2016 අවුරුද්දෙදි ගොනු කලා.
මුල් අවස්ථාවේ දී ම අපි තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ කොළඹ නගර සභාවට විරුද්ධව මීතොටමුල්ලට කුණු දැමීම වළක්වමින් නියෝගයක් දෙන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අවස්ථාවේදී ඒ නියෝගය ලබාදීම ප්‍රතික්ෂේප කළා. අන්තිමට 2017 අවුරුද්දේ අප්‍රේල් 14 වෙනිදා අපේ ගමේ මිනිස්සු තිස් දෙකක් කුණුකන්දට යට වෙලා මිය ගියා. ගෙවල් 300ක් විනාශ වුණා. දහම්පුර, පන්සල්හේන වගේ ගම් ගම්පිටීන්ම නැතිවුණා. සුසාන භූමි බවට පත්වුණා.
කොහොම නමුත් අපි මේ නඩුව අතහැරියේ නෑ. ලේඛන සංශෝධනය කරලා අපි නඩුව ඉදිරියට පවත්වාගෙන ගියා. වසර දහයකට පස්සේ අද ඒ නඩුවේ වැදගත් තීන්දුව ප්‍රකාශයට පත්වුණා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා මීතොටමුල්ලට කුණු දැමීම හරහා කොළඹ නගර සභාව ඇතුළු ආයතන අපේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළා කියලා.
යුක්තිය ප්‍රමාද වීම යුක්තිය යුක්තිය අහිමිවීමක් කියලා අපි අහලා තියෙනවා. කොහොම නමුත් නැතිවුණු ජීවිත තිස් දෙක අපිට නැවත ලැබෙන්නේ නෑ. අපිට කරන්න පුළුවන් දේ තමයි නැවත මේ වගේ ඉරණමක් මේ රටේ ජනතාවටත් නොවීම සඳහා හැකි සෑම පෙරමුණක ම, වේදිකාවක ම සටන් කිරීම. මේ තීන්දුව එබඳු සටන්වල දී වැදගත් තීරණාත්මක කාර්යභාරයක් කරාවි. ඒ නිසා තීන්දුව ලියපු කෝදාගොඩ විනිශ්චයකාරතුමා ඇතුළු විනිස්චය මණ්ඩලයට අපේ ගෞරවය හිමි විය යුතුයි.
නඩුව වෙනුවෙන් නොමිලේ පෙනී සිටි ජනාධිපති නීතිඥවරු වන සාලිය පීරිස් සහ එරාජ් සිල්වා යන මහත්වරුනුත් තනුක නන්දසිරි ඇතුළු කනිෂ්ට නීතිඥවරුන්ටත් නලින් සමරකෝන් ඇතුළු ලේඛනගත නීතීඥවරුන්ටත් අපේ ගෞරවය හා ස්තුතිය පළ කරන්න ඕන. ඒ වගේම මුල ඉඳන්ම කුණු කන්දෙන් පීඩාවට පත්වුන මිනිස්සු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම, නීතීඥ අස්ථික දේවේන්ද්‍ර ඇතුළු විශාල නීතීඥවරු පිරිස හදවතින්ම මතක් කළ යුතුයි.
ඒ වගේම මේ නඩුවේ තීන්දුව කුණු කන්දට යටවෙලා මියගිය දරුවන් ඇතුළු තිස් දෙකක ජීවිතවලට උපහාරයක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.
ලිපිය උපුටා ගත්තේ නිතිඥ නුවන් බෝපගේ ගේ face book පිටුවෙනි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
