රටේ බලශක්ති ක්ෂේත්‍රය බරපතළ අර්බුදයක - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටේ බලශක්ති ක්ෂේත්‍රය බරපතළ අර්බුදයක - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද වන විට අප රටේ බලශක්ති ක්ෂේත්‍රය තුළ බරපතල අර්බුධයක් නිර්මාණය වී මෙය ඛේදවාචකයකින් අවසන් වීමේ තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ මීට දොළොස් වසරකට ඉහත දී අපවත් වී වදාළ භූමිරියේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී මහා සංඝ සභාවේ උතුම් මහානායක ධුරය හොබවා වදාළ අග්‍ර මහා පණ්ඩිත අතිගරු බෙල්ලන ඥානවිමල මහානායක හිමිපාණන්ගේ එකසිය 106 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඊයේ (26) කොළඹ වාලුකාරාම විහාරස්ථානයේ දී  පැවැති දානමය පුන්‍යකර්මයක් සඳහා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

බලශක්ති අර්බදයට ඇත්ත හේතුව

අප රටේ බලශක්ති අර්බුධය කළමනාකරණ කර ගැනීමට රජය සැලසුමක් ඉදිරිපත් කළ යුතු යි. රටේ ප්‍රශ්න මැදපෙරදිග යුද්ධය මත පටවා රජයට බේරී යෑමට නොහැකි යි. මේ බලශක්ති අර්බුධයට ප්‍රධාන හේතුව වන්නේ විදුලි බල උත්පාදනය කරන ලක්විජය නොරොච්චෝල බලාගාරයේ ප්‍රමාණවත් ලෙස විදුලිය උත්පාදනය නොවීම යි. එයට හේතුව බාල ගල් අඟුරු භාවිතය. ඊයේ පවා නිෂ්පාදනය කර තිබෙන්නේ මෙගවොට් 168ක් අඩුවෙන්. මෙකී හිගය මගහරවා ගැනීමට ඩීසල් බලාගාර උපයෝගී කර ගන්නා නිසා විදුලි බිල වැඩි වී පාරිභෝගිකයාට අසීමිත බරක් දැරීමට සිදුවීමත් ජනතාවට ඉන්ධන හිඟ වීමත් සිදුවෙනවා. මැදපෙරදිග යුද්ධය නිසා අභියෝග රැසක් එල්ල වුවත් මේ ගැටලුවලට යම්තාක් දුරටක හෝ අභියෝග සමනය කර ගැනීමට විවිධ අවස්ථ නිර්මාණය වුවහොත් ඒ සඳහා ලබා දෙන ප්‍රතිචාර පෙර සිට සැලසුම් කිරීමේ හැකියාව තිබුණත් රජය මේ කිසිදු පුරෝකථනයක් නොකර සිටියා. මේ මොහොත වන විට අප රටේ ජාතික ආරක්ෂාවට පවා මේ බලශක්ති අනාරක්ෂිතභාවය නිසා අභියෝග රැසක් එල්ල වී තිබෙනවා. රජය මේ බාල ගල් අඟුරුවලට ලබා දෙන විසදුම් තවම ඉදිරිපත් කර නැහැ.

මැදපෙරදිග යුද්ධය පෙරට දමා ගල් අගුරු වංචාව වහන්න හදනවා

අප රටේ ඉන්ධන තත්ත්වය, බොරතෙල් තත්ත්වය ගැනවත් රජයට අදහස් නැහැ. ඉන්ධන හිඟයක් නිර්මාණය වන්නේ නම්, අඛණ්ඩව විදුලි බලය ලබා ගැනීම ගැන පවා රජය සිතිය යුතු යි. මේ ප්‍රශ්න ගැටලුවලට රජයෙන් උත්තර අවශ්‍ය යි. මේ ගැටලු පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන දින ගණන පවා මේ රජය අඩු කර තිබෙනවා. යුද්ධය පෙරට දමා ගල් අඟුරු වංචාව හෙළිදරව් කරන්නට අපොහොසත් වීමෙන් රජය සිදු කරන්නේ සත්‍ය යථාර්ථය අවබෝධ නොකර ගෙන රටත් ජනතාවත් සිහින ලෝකවලට ගෙන යෑම යි. බාල ගල් අඟුරු නිසා නියමිත විදුලිය නිෂ්පාදනය නොවීම නිසා අඛණ්ඩව විදුලිය සැපයීමේ ගැටලුවක් පවා ඇති වෙනවා. මේ ගැටලුවලට විසදුම් දෙන්න රජයට නිසි වැඩපිළිවෙළක් තිබිය යුතු වුවත් රජය සෑම දෙයක් ම කරන්නේ සූදානමකින් තොරව ප්‍රමාද වෙලා. රජයේ මැතිඇමතිවරු විදුලි බලය සුරක්ෂා කිරීම ගැන උපදෙස් දෙන්න පෙර බාල ගල් අඟුරුවලට විසදුම් දිය යුතු යි. මේ ආකාරයට නියමිත ප්‍රමාණයට වඩා විදුලිය නිෂ්පාදන අඩුවන විට ඉදිරියේ දී බලාගාර අලුත්වැඩියා කරන විට ඊට මුහුණ දීමට අමතර විදුලිය අවශ්‍ය බැවින් මේ සදහා සැලසුම් සකස් කළ යුතු යි.

දැන් ජාතික ආරක්ෂාව පවා අනතුරේ

එසේම රුසියාව සහ ඉරානය සමඟ සාකච්ඡා කර ඉන්ධන ලබා ගැනීමත් මේ බාල ගල් අඟුරු වෙනුවට ගුණාත්මක ගල් අඟුරු ලබා ගැනීමට කටයුතු කළ යුතු යි. මේ රජයේ රාජ්‍ය ප්‍රතිපත්ති නිසා දැන් ජාතික ආරක්ෂාව පවා අනතුරේ. රටේ ආර්ථික ජීවය රදා පවතින්නේ ඉන්ධන, අඛණ්ඩ විදුලිය හා බලශක්තිය මත යි. අඛණ්ඩව විදුලිය දෙන්න නොහැකි වන විට සෘජු විදේශ ආයෝජන ගලා එන්නෙ නැහැ. මේ නිසා ආර්ථිකය හැකිළී, ආදායම් අඩුවී, ජිවනෝපාය බිදවැටී, මන්දපෝෂණය වැඩිවීම මෙන්ම සෑම ක්ෂේත්‍රයක් ම කඩා වැටෙනවා. අඛණ්ඩ විදුලිය ලබා දී බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු යි.

රට විරුවන් පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය මොකක් ද...?

මැදපෙරදිග කලාපයේ ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් ශ්‍රමිකයන් ලෙස සේවය කර අප රටට විශාල ප්‍රේෂණ ප්‍රමාණයක් වාර්ෂිකව ලබා දෙනවා. ඩොලර් බිලියන 8කට වැඩි ප්‍රමාණයක් ගියවසරේ ලබා දුන් මේ අයට යුද්ධය නිසා නැවත රටට එන්න සිදු වුවහොත් ඔවුන්ට වන්දි ලබා දෙන්න ක්‍රමයක් පවා රජයට නැහැ. දැන්වත් රජය මේ දේවල් ගැන සැලසුමක් සකස් කළ යුතු යි. රජය දන්නේ මේවා යෝජනා කරන විට වහල්ලු යොදා විහිළු කිරීමට විතරයි. දැන්වත් මේ විහිළු නවත්වා බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරිමටත් රටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමටත් කටයුතු කළ යුතු යි. රජයට ඇති සැලසුම් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ රජයට මේ සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නැහැ. රටේ ජාතික ආරක්ෂාවේ වගකීම රජය සහ ජනාධිපතිවරයා සතු බැවින් මීට වඩා සැලසුම්සහගතව ක්‍රමෝපායික දත්ත කේන්ද්‍රීය විසදුම් ලබා දිය යුතු යි.'' 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න