අසීරු ඕනෑම අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් - රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin

අසීරු ඕනෑම අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් - රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin අවධාරණය කළේ ය.

මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේ ය.

උද්ගතව ඇති ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මනා අවබෝධයක් රුසියාවට පවතින බව මෙහි දී සඳහන් කළ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා එහි දී බලශක්ති ක්ෂේත්‍රය තුළ පමණක් නොව තාක්ෂණික, යන්ත්‍රෝපකරණ ආදී ඕනෑ ම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බව ද පැවසී ය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ දී හිමි වූ උණුසුම් පිළිගැනීම මෙහි දී කෘතවේදීව අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීගුකාලීන සබඳතා මෙම සංචාරයේ දී තවදුරටත් තහවුරු වනු ඇති බවට ද විශ්වාසය පළ කළේ ය. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෙහි දී සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, අතීතයේ දී සෝවියට් රුසියාව ශ්‍රී ලංකාවට ලබා දුන් තාක්ෂණික සහ කාර්මික සහාය එවකට ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධනයට මනා පිටුබලයක් වූ බව සඳහන් කළේ ය. මෑතකාලයේදී ද, ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රටවල් අතර රුසියාව ඉදිරියෙන් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසකට අධ්‍යාපන අවස්ථා උදා කර දෙමින් ලබා දෙන සහායත්, දෙරට අතර පවතින සමාජ සංස්කෘතික සබඳතාව මෙන්ම අන්තර්ජාතික කටයුතුවල දී ශ්‍රී ලංකාවට රුසියාවට ලබා දෙන සහායත් කෘතවේදීව සිහිපත් කළේ ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ගේ මෙම සංචාරය දෙරට අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා හේතු වනු ඇති බවට ද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන අය ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan, රුසියාවේ බලශක්ති අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Vladimir Khazov, ඛනිජ තෙල් ආශ්‍රිත සේවා වාණිජ ව්‍යාපෘති සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී Sergey Rodin යන අය ඇතුළු රුසියානු නියෝජිත පිරිස ඊට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

awrden akd

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න