බලශක්ති අර්බුදය විසඳා ගැනීමට රුසියානු සහය

බලශක්ති අර්බුදය විසඳා ගැනීමට රුසියානු සහය

මැද පෙරදිග යුධ වාතාවරණය නිසා මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය තුළ අඛණ්ඩ සහ විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීම පිණිස ගත හැකි සියලු ම පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ලොව ප්‍රමුඛ පෙළේ බලශක්ති සැපයුම්කරුවකු මෙන්ම අපේ සමීපතම මිත්‍ර රටක් වන රුසියානු සමූහාණ්ඩුවෙන් ඛනිජ තෙල් සහ ගල් අඟුරු ලබා ගැනීම පිළිබඳව ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඒ පිළිබදව තවදුරටත් කරුණු සොයා බැලීම සහ අවශ්‍ය එකඟතා ඇති කර ගැනීම පිණිස රුසියාවේ නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂාවින් (Roman Marshavin) ඇතුළු ප්‍රමුඛ පෙළේ රුසියානු දූත පිරිසක් අද (26) මෙරටට පැමිණියහ.

අද පස්වරුවේ මුදල් අමාත්‍යංශයේ දී නියෝජ්‍ය මුදල් හා කම්කරු අමාත්‍ය අචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ප්‍රමුඛ පිරිසක් සහ රුසියානු දූත පිරිස අතර සාකච්ඡාවක් පැවැත්විණ.

බලශක්ති අර්බුදය විසදාගැනීම පිණිස කෙටි කාලීන විසදුම් අවශ්‍යතා මෙන්ම රටවල් දෙක අතර බලශක්ති සබඳතා තර කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර බොර තෙල් සැපයුම මෙන්ම පෙට්‍රල්, ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන යනාදි පිරිපහදු කළ ඉන්ධන සැපයීමට ඇති හැකියාවත් රුසියානු පාර්ශවයෙන් ප්‍රකාශ විණි. තව ද මෙරට කෘෂිකර්මාන්තයට අත්‍යාවශය පොහොර ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන් මෙරටට අවශ්‍ය තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ඇති හැකියාව ද රුසියානු දූත පිරිස වෙතින් ප්‍රකාශ විය. එමෙන්ම රටවල් දෙක අතර දිගුකාලීන බලශක්ති සබඳතා තර කර ගැනීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, බලශක්ති අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඇතුළු රැසක් එක්ව සිටියහ.

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද සන්ධ්‍යාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට ද නියමිතය.

ශාන් මොහොමඩ් - මාධ්‍ය ලේකම් බලශක්ති අමාත්‍යංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න