ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම්

 ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම්

ශ්‍රී ලංකාව සිය මිතුරකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) පවසයි.

මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත්, ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබා දීමට සුදානම් බවය.

හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සිය මිත්‍ර රටවලට වසා දමා නොමැති බව ද අලිරේසා ඩෙල්කෝෂ් මෙහි දී අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්‍යතාවක් නොමැති බවත්, ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බව ද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් වැඩිදුරටත් පැවසී ය.

එමෙන්ම පසුගිය දා අමෙරිකානු සම්මැරීනයක් මඟින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ 'IRIS Dena' යුද නෞකාවේ සිටි පිරිස මුදාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉරාන ඉල්ලීමක් කිරීමට පළමුව බව ද පැවසු අලිරේසා ඩෙල්කෝෂ් ශ්‍රී ලංකාව විසින් සිදුකළ එම උපකාරය ද මෙහි දී සිහිපත් කළේ ය.

මේ අතර ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉරාන රජය සුදානම් බව ද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් වැඩිදුරටත් පැවසී ය.

ඉරානය තුළ පදිංචිව සිටින විදේශිකයන් ආරක්ෂා කිරීම සඳහා පුළුල් යටිතල පහසුකම් ස්ථාපිත කර ඇති බවත් තානාපතිවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය. අද වන විට ඔවුන්ට බලපාන කිසිදු ගැටලුවක් වාර්තා වී නොමැති බවත්, ඔවුන් ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ඔහු අවධාරණය කළේ ය.

ඔහු තවදුරටත් පවසා සිටියේ, “ඔවුන් තම රටවලට ආපසු යෑමට කැමති නම්, තුර්කිය වැනි අසල්වැසි රටවල් හරහා ඔවුන් ගේ ගමන් පහසුකම් සැලසිය හැකියි” යනුවෙනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න