2026 වර්ෂය සඳහා අභිනවයෙන් පත්වූ ස්වීඩනයේ ශ්‍රී ලංකා සංගමයේ නව නිලධාරි මණ්ඩලය 2026 මාර්තු මස 13 වන දින පස්වරු 4.00ට ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති සමග සංගමයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූහ.
මෙම සාකච්ඡාව සඳහා සංගමය නියෝජනය කරමින් සභාපති ප්‍රදීප පණ්ඩුල ලියනහේවගේ, ලේකම් ඉන්ද්‍රජිත් වෑවලගේ සහ භාණ්ඩාගාරික නරේෂ් උමංග ජයසුන්දර ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.
මෙම හමුවේ දී විශේෂ අවධානය යොමු කළේ, ස්වීඩනයට පැමිණීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයින් සහ දැනට ස්වීඩනයේ පදිංචිව සිටින නවක පිරිස් මුහුණ දෙන ආර්ථික, සංස්කෘතික සහ නීතිමය අභියෝග පිළිබඳව ය. ඒ සඳහා ස්වීඩනයේ ශ්‍රී ලංකා සංගමය විසින් සකස් කරන ලද නව වැඩපිළිවෙල සහ ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරුණි. එමෙන්ම ස්වීඩනයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් ගේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ශක්තිය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් සංගමය විසින් අලුතින් පිහිටුවන ලද අනුකමිටු 07 පිළිබඳව ද තානාපති වෙත විස්තරාත්මකව දැනුවත් කළේ ය.
ඊට අමතරව: ශ්‍රී ලාංකීය සංස්කෘතිය, ආගමික වටිනාකම් සහ සම්ප්‍රදායන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් 2026 වර්ෂය තුළ සංගමය සංවිධානය කිරීමට නියමිත විවිධ සංස්කෘතික සහ සමාජ වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කළේ ය. මෙම අවස්ථාවේ දී පසුගිය වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සංගමය විසින් සිදු කරන ලද පරිත්‍යාග සහ සහාය කටයුතු පිළිබඳවද සාරාංශ වශයෙන් තානාපති වෙත දැනුම් දුන්නේ ය.
මෙහි දී තානාපති විසින් තානාපති කාර්යාලය තුළ පවතින නීතිරීති අනුව සංගමය විසින් සිදුකරනු ලබන කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට තානාපති කාර්යාලය සූදානම් බව දන්වා සිටියේ ය. මෙම හමුව අවසන් වූයේ ස්වීඩනයේ ශ්‍රී ලාංකික ප්‍රජාව ගේ එකමුතුව, යහපැවැත්ම සහ සංවර්ධනය උදෙසා අනාගතයේ දී ද එක්ව කටයුතු කිරීමට එකඟතාවය පළ කරමිනි.

ඡායාරූපයේ සිටින අය වමේ සිට
සමාධි සිල්වා (කාරක සභික), නරේෂ් උමංග ජයසුන්දර (භාණ්ඩාගාරික), ජනක ජයසිංහ (උප සභාපති), ප්‍රදීප පණ්ඩුල ලියනහේවගේ (සභාපති) කපිල ෆොන්සේකා (ගරු තානාපති තුමන්), උදානි ගුණවර්ධන (පළමු ලේකම්, තානාපති කාර්යාල ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික), කාන්ති පීරිස් (කාරක සභික), ඉන්ද්‍රජිත් වෑවලගේ (ලේකම්) අසංක දිල්රුක්ෂ (කාරක සභික) සහ ඉරේෂා ජයසිංහ (කාරක සභික)

