ජනාධිපතිවරයකු ගේ කටයුතුවල නිල නොනිල භාවයක් පිළිබඳ වර්තමානයේ ගැටලුවක් ඇති වි තිබෙන බවත්, එය සපුරා ම මිථ්‍යාවක් බවත් හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (11) කොළඹ අමාරි හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
මතු පළ වන්නේ එම අවස්ථාවේ දී ජී. එල්. පීරිස් කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.
''අද මේ රටේ කතිකාවක් ඇතිවෙලා තිබෙනවා, ජනාධිපතිවරයෙකු ගේ කාර්යභාරය නිල වශයෙන් කෙරෙන කාර්යයන් හා පෞද්ගලික කාර්යයන් අතර විභේදනයක් තියෙනවද කියලා. එය සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක්. එහෙම විභේදනයක් කිසිසේත් නෑ. මෙය අපි විසින් අපේ මනසේ ව්‍යාජ ලෙස ඇතිකරගත් විභේදනයක්.
එය ඉතාම සරල තත්ත්වයක්. ජනාධිපතිවරයෙකු දිවුරුම් ගත්තහම, ඒ ධුරය ඒ තනතුර හොබවනතාක්, සතියේ දවස් හතේ ම, පැය විසිහතරෙ ම ඒ පුද්ගලයා ජනාධිපති. ඒ සම්පූර්ණ කාලය තුළ, රාජ්‍යයට අනිවාර්ය වගකීමක් පැවරෙනවා, ඒ ජනාධිපතිවරයා මොනවා කරත්, කොහේ හිටියත්, මේ රටේ හිටියත්, විදේශගත වෙලා හිටියත්, කොයි විදිහේ කාර්යයක නිරත වෙලා සිටියත්, ආරක්ෂාව සපයාදීමට.
ට්‍රම්ප් ජනාධිපතිවරයා ගොල්ෆ් ගහන්න ස්කොට්ලන්ඩ් යනකොට, ඒක පෞද්ගලික වැඩක් කියලා එතුමාට ආරක්ෂාව අහිමිවන්නේ නෑ. පැය විසිහතර ම ඒ ආරක්ෂාව එතුමාට තියෙනවා, එය තිබිය යුතුයි. ඒ ආරක්ෂාව එක්ක ගැටගැහිලා තියෙන වෙන දේවල් කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම ගමනාගමනය. ජනාධිපතිවරයෙකුට ටැක්සි එකකට නැගලා යන්න බෑ. ඒ ආරක්ෂාව සම්පූර්ණ වශයෙන් ලබාදෙන්න පුළුවන් වෙන පරිදි ගමනාගමන පහසුකම්, ඉඳුම් හිටුම්, මේ සියල්ලක්ම අන්තර්ගත වෙනවා.
ජනාධිපතිවරයා මොනවා කරත්, මුහුදුවෙරළේ ව්‍යායාම කරනවා වුණත්, නාන්න මුහුදට ගියත්, පෝය දවසේ සිල් ගත්තත්, තමන්ගේ ඥාතියෙකු ගේ හිතවතෙකු ගේ උපන්දින සාදයකට ගියත්, ආධ්‍යාත්මික කටයුත්තක් සඳහා ආශ්‍රමයකට ගියත්, මේ මොනවා කරත් ජනාධිපතිට, ජනාධිපති හැටියට ඒ ආරක්ෂාව තිබිය යුතුයි. නිල කටයුතු, පෞද්ගලික කටයුතු කියලා විභේදනයක් නෑ.
මේ රටේ හෝ විදේශ විශ්වවිද්‍යාලයක හෝ කීර්තිමත් පාසලක හෝ වෘත්තීමය සංවිධානයක ආරාධනාවක් ලැබුවත්, ඒ යන්නේ ජනාධිපති හැටියට. එහෙම නැතුව පෞද්ගලික පුරවැසියෙකු හැටියට නෙමෙයි. ඒ සම්බන්ධයෙන් වාද විවාද කිරීම පදනම් විරහිතයි. කිසිම අර්ථයක් හෝ තේරුමක් නෑ.
ජාත්‍යන්තර නීතිය, සම්ප්‍රදාය මේ සියල්ලට ම අනුව එහෙම විභේදනයක් නැති බව මම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. මේ කතිකාව සම්පූර්ණයෙන් අවුල් වෙලා තියෙන්නේ. මෙලෙස අනවශ්‍ය ව්‍යාකූලතාවයක් ඇතිවෙලා තියෙන්නේ නැති විභේදනයක් තියෙනවයි කියන උපකල්පනය මත අපි මේ වාද විවාදවලට සහභාගී වෙලා තියෙන නිසා.
ඉතින් මේ පිළිබඳ නිවැරදි තත්ත්වය ජනතාවට ඉදිරිපත් කරලා ඒ පිළිබඳ කතිකාව මීට වඩා නිවැරදි, තාර්කික පදනමක් මත ඉදිරියට ගෙනයාම වැදගත් කියලා මම විශ්වාස කරනවා.''

