ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා ගේ 66 වන උපන් දිනය අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්

ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා ගේ 66 වන උපන් දිනය අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්

ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා ගේ 66 වන උපන්දිනය සහ ජපන් ජාතික දිනය වෙනුවෙන් වූ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් මෙරට ජපන් තානාපති නිල නිවසේ දී පැවැත්විණි.

මෙරට ජපන් තානාපති කාර්යාලය මගින් සංවිධානය කර තිබූ එම  උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, උත්සව සභාව අමතමින් ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන්, ජපානයේ ජනාධිපති නරුහිතෝ අධිරාජ්‍යයා ගේ 66 වන උපන්දිනය වෙනුවෙන් සහ ජපන් ජාතික දිනය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් පිරිනැමී ය.‍

මෑතකදී අවසන් වූ මැතිවරණවල දී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් අගමැතිනි සානේ තකයිචි (Sanae Takaichi) සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ද  සුබ පැතුම්  එක් කළ අමාත්‍යවරයා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම නැවත තහවුරු කිරීමටත් මෙම උත්සව අවස්ථාව අවස්ථාවක් කර ගන්නා බව ද පැවැසී ය.

ශ්‍රී ලංකාව සහ ජපානය ඓතිහාසිකව පොදු වටිනාකම් සහ අන්‍යෝන්‍ය ගෞරවය තුළ මුල් බැසගත් උණුසුම් හා කල් පවතින සම්බන්ධතාවයක් බෙදාගෙන ඇති බවත්, මෙම සමෘද්ධිමත්, බහුවිධ හවුල්කාරිත්වය දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ ජනතාව අතර සබඳතාවල සමීප සහයෝගීතාවයක්  බවට පරිණාමය වී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය. ජපානයේ සහ ශ්‍රී ලංකාවේ දේශපාලන පරිසරය ශක්තිමත් නායකත්වයකින් හෙබි බවත්, ජාතීන් දෙකම ඔවුන් ගේ නායකයින්ගේ මඟ පෙන්වීම යටතේ සැලකිය යුතු දේශපාලන පරිවර්තනවලට භාජනය වෙමින් සිටින බව ද, ආදර්ශමත් දේශපාලන සංස්කෘතියක් පෝෂණය කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

රටේ ආර්ථික ස්ථායිකරණය සහ සංවර්ධන ප්‍රයත්න සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය මෙන්ම, දූෂණ විරෝධී පියවර සහ තිරසාර සංවර්ධන මුලපිරීම් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම අරමුණු කරගත් මෙරට ජාතික ප්‍රමුඛතා තුළ ඵලදායී හවුල්කාරිත්වය ශ්‍රී ලංකා රජය බෙහෙවින් අගය කරන බව ද පැවසූ අමාත්‍යවරයා පසුගිය දිනවල මෙරටට බලපෑ ස්වභාවික ව්‍යසනය අවස්ථාවේ සහන කටයුතු සඳහා සහ ආපදාවෙන් පසු ජපානය විසින් එවන ලද හදිසි වෛද්‍ය කණ්ඩායම් ලබාදුන් සේවාව මහත් ඇගයිමට ලක් කරන බවත්, මෑතක දී ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක ප්‍රදානය, ශ්‍රී ලංකාවාසි ජනතාවට ජපානයේ අඛණ්ඩ සහ ත්‍යාගශීලී සහයෝගයේ පෙන්නුම් කරන අවස්ථාවක් බව ද අවධාරණය කළේ ය.

දෙරට අතර සිදු කර ඇති ඉහළ මට්ටමේ සංචාර ගණන ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින නොනවතින මිත්‍රත්වයට සහ සහයෝගීතාවයට තවත් සාක්ෂියක් බවත්, පසුගිය දිනවල මෙරට ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක් සාර්ථකව අවසන් කළ බවත් එහි දී දෙරට අතර ස්ථාපිත කළ විස්තීර්ණ හවුල්කාරිත්ව යටතේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට දෙපාර්ශ්වයම තම අභිප්‍රායන්  නැවත තහවුරු කළ බව ද අමාත්‍යවරයා පැවැසිය.

එමෙන්ම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා නව මංපෙත් නිර්මාණය කිරීම සඳහා අඛණ්ඩ, ඉහළ මට්ටමේ සම්බන්ධතාවයක් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව ද අවධාරණය කළ අමාත්‍යවරයා  1972 නොරිටේක් හවුල්කාරිත්වයෙන් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ජපන් ආයෝජන, ආයෝජන ව්‍යාපෘති 70 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇති බවත්,  ශ්‍රී ලංකාවට විදේශ සෘජු ආයෝජන ගලාඒමට දායක වන ප්‍රමුඛ රටවල් අතර ජපානය ද වන බවත්, මීට අමතරව, ශ්‍රී ලංකාව සහ ජපානය ආරක්ෂක, සංස්කෘතිය, අධ්‍යාපනය සහ ජනතාව අතර සබඳතා ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල විශිෂ්ට සහයෝගීතාවයක් පවත්වාගෙන යන බව ද පැවැසිය.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසොමාටා (Akio Isomata) මහතා සහ එම කාර්යාලයේ නිලධාරීන් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාශීලීව හා ජවසම්පන්නව කටයුතු බවත්,  ශ්‍රී ලංකා-ජපාන සබඳතා නව මානයකට ගෙන යාම සඳහා ඔවුන් දැක් වූ  කැපවීම බෙහෙවින් අගය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසිය.

මෙම උත්සව අවස්ථාව සඳහා මැති ඇමැතිවරුන්, ව්‍යාපාරිකයින් සහ ජපාන තානාපති ‌අකියෝ ඉසෝමාටා (Akio Isomata)  සහ තානාපති කාර්යාලයේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්             

 

nalinda2 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න