අප රටට බාල ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධ තොරතුරු සමගි ජන බලවේගය හෙළිදරව් කිරීමත් සමග අද වන විට රජයේ වගකිව යුතු පාර්ශ්ව ජනතාව ඉදිරියේ ඒ ගල්අඟුරු බාල බව පිළිගනිමින් සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එම ප්‍රකාශයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
රටටත්, රජයටත්, ජනතාවටත්, විදුලි පාරිභෝගිකයන්ටත් මූල්‍ය හානියක්
''මේ බාල ගල්අඟුරු ගෙන්වීම නිසා විදුලි ජනන ක්‍රියාවලිය අකාර්යක්ෂම වීමත්, බාල ගල්අඟුරු භාවිතය නිසා උපකරණවලට හානි පවා සිදුවන ප්‍රවණතාව වැඩි වී වැඩි වී තිබෙනවා. මේ බාල ගල්අඟුරු තුළින් නිර්මාණය වන අළු ප්‍රමාණය ප්‍රතිශතාත්මකව දෙගුණ වී 11-15% දක්වා තිබිය යුතු ප්‍රමාණයන් 21% සිට ඉහළ දළ වශයෙන් දෙගුණයක් වැඩි වෙලා. මේ අළු බැහැර කිරීමේ දී පවා පරිසරයට හානියක් සිදුවනවා. ඉදිරි මාස 2-3 තුළ තවත් ගල්අඟුරු නැව් 15ත් 16ත් අතර ප්‍රමාණයක් ගොඩබෑමට නියමිතයි. හොඳ ප්‍රමිතියේ ගල්අඟුරු නොගෙන්වීමත් බාල ගල්අඟුරු ගෙන්වීමත් නිසා ජනනය කළ යුතු මෙගාවොට් ප්‍රමාණය අඩුවෙනවා. ඒ නිසා විදුලි ජනන හිඟය මඟහරවා ගැනීමට ඉන්ධන බලාගාරවලින් විදුලිය උත්පාදනය කර ලබා ගැනීමට සිදුවනවා. ඒ නිසා රටටත්, රජයටත්, ජනතාවටත් විදුලි පාරිභෝගිකයන්ටත්, මූල්‍ය හානියක් සිදුවනවා.
පාඩුව පාරිභෝගිකයින් ගෙන් අය කිරීම පනතට පටහැනියි
2009 විදුලි බල පනතේ 30 වැනි වගන්තිය අනුව කාර්යක්ෂ විදුලි ජනනය හරහා පමණක් පාරිභෝගික ජනතාව ගෙන් අය කිරීම සිදු කළ හැකි බවට සඳහන් වෙකනවා. මේ සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය ආරක්ෂා කරන මහජන උපයෝගීතා කොමිසමට අවධානය යොමු කළ යුතු යි. බාල ගල්අඟුරු නිසා සිදු වන්නේ අකාර්යක්ෂම පාඩු ලබන අක්‍රමිකතා රැසක් ඇති විදුලි ජනනයක් නිසා මේ 30 වැනි වගන්තිය හරහා මේ සිදුව ඇති මහා මූල්‍ය පාඩුව කිසිසේත්ම අපේ රටේ ලක්ෂ 75ක් පමණ විදුලි පාරිභෝගිකයාගෙන් අය කරන්න රජයට හෝ මහජන උපයෝගීතා කොමිසමට සිදු කළ නොහැකි යි. බාල ගල්අඟුරු උපයෝගී කර ගෙන සිදු කළ හානියේ බර පාරිභෝගික ජනතාවගේ කරපිට පැටවීම අනීතික යි. ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියූ වත්මන් රජය අද බාල ගල්අඟුරු රටට ගෙනවිත් තිබෙනවා. මේ පාඩුව තුළින් රටට අහිමි වූ මුදලින්: පාසල් සහ රෝහල් සාදා දුප්පත් ජනතාවට සහන දෙන්න පවා හැකියාව තිබුණා. නව ව්‍යාපාර ආරම්භ කර ව්‍යාපාර දියුණු කරන්න පවා හැකියාව තිබුණත් මේ ක්‍රමයේ වෙනස පොරොන්දු වූ රජය අන්ත දූෂිත ගල්අඟුරු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර රටත් ජනතාවත් අනාථ කරනවා.
මේ පිළිබඳ සොයන්න වෝහාරික විගණනයක් අවශ්‍යයි
මේ ගැටලුව ගැන සොයන්න ප්‍රවීණයන් ගේ කමිටුවක් පත් නොකර වෝහාරික විගණනයක් සිදු කර මේ දූෂිත ගණුදෙනු ගැන සෙවිය යුතු යි. විදුලි පාරිභෝගික ජනතාව රැක ගන්න සමගි ජන බලවේගය පෙනී සිටිනවා. රාජ්‍ය සම්පතක් වූ නොරොච්චෝලේ බලාගාරයට බාල ගල්අඟුරු දමා සිදු කරන හානියට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වගකිව යුතු යි.

