රටේ තරුණ තරුණියන් එක් ලක්ෂ පනස්දහසකට රැකියා නැහැ - මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

රටේ තරුණ තරුණියන් එක් ලක්ෂ පනස්දහසකට රැකියා නැහැ - මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

මේ වනවිට රටේ තරුණ තරුණියන් එක් ලක්ෂ පනස්දහසක් රැකියාවක් සොයමින් කල් ගතකරන බවත්, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන හරහා හෙළිවන තොරතුරුවලින් රටේ ශ්‍රම වෙළඳපොළේ සෑබැ ස්වභාවය අවතක්සේරුවකට ලක්වෙන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රකාශ කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (25) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා...

''රටක ආර්ථික වර්ධන වේගයත් සමඟ දරිද්‍රතාවයට, අසමානතාවයට, විරැකියාවට සිදුවන දේ පිළිබඳව මහාචාර්ය ඩඩ්ලි සියර්ස් නැමැති ආර්ථික විද්‍යාඥයා දැඩි ලෙස සාකච්ඡාවට භාජනය කර තිබෙනවා. ඒ අනුව ආර්ථිකයේ වර්ධනය වේගය සමග රටක දුප්පත්භාවය අඩුවිය යුතුයි. ඇති නැති පරතරය අඩු විය යුතුයි. ඒ වගේම රැකියා ප්‍රශ්නයට උත්තරයක් ලැබිය යුතුයි. මහාචාර්ය ඩඩ්ලි සියර්ස් නැමැති ආර්ථික විද්‍යාඥයාගේ ආර්ථිකය පිළිබඳව දැක්ම විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගනු ලබනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රකාශය

2024 දී ශ්‍රම බලකා සහභාගිත්ව සමීක්ෂණක් ආණ්ඩුව විසින් සිදුකරනු ලැබුවා. ඒ අනුව 2024 දී ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතික අගය සියයට 47 ක් වෙනවා. කෙසේ නමුත් 2017 දී ශ්‍රම සහභාගිත්වය පැවැතුණේ සියයට 54 ක. ඒ අනුව ශ්‍රම සහභාගිත්ව අනුපාතිකය සියයට 6.7 කින් බරපතළ ලෙස අඩුවෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ වැඩ කරන වයසේ පසුවන ජනගහනය මිලියන 16.8 යි. මෙයින් රටේ ශ්‍රම සැපයුමට සක්‍රීයව දායක වන්නේ මිලියන 8 ක වගේ ප්‍රමාණයක්. විරැකියා අනුපාතය සියයට 4.4 ක් වෙනවා. එයින් විරැකියාවෙන් පෙළන පුරුෂයින් ගණන සියයට 3 යි. එයින් විරැකියාවෙන් පෙළන ස්ත්‍රීන් ගණන සියයට 7.1 ක් වෙනවා. වැඩ කළ හැකි වයසේ කාන්තාවන්ගෙන් විධිමත් ශ්‍රම බලකායට දායක වී තිබෙන්නේ සියයට 30 වගේ ප්‍රමාණයක්. රටේ කාන්තාවන් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකුට රැකියා නැහැ. රැකියා නැති ප්‍රතිශතය අධ්‍යාපන මට්ටම වැඩි වෙන විට විරැකියාව වැඩිවන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. අවුරුදු 20 ත් 24 ත් අතර තරුණ විරැකියා අනුපාතය සියයට 20.7 ක් වෙනවා. අවුරුදු 20 ත් 24 ත් අතර තරුණයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට රැකියාවක් නැහැ. මෙය බරපතල ප්‍රශ්නයක්. මේ වනවිට රටේ තරුණ තරුණියන් එක් ලක්ෂ පනස්දහසක් රැකියාවක් සොයමින් කල් ගතකරනු ලබනවා. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන හරහා හෙළිවන තොරතුරුවලින් රටේ ශ්‍රම වෙළඳපොළේ සෑබැ ස්වභාවය අවතක්සේරුවකට ලක්වෙන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. බොහෝ දෙනෙක් රැකියාවක් කිරීමට අකමැතිව ශ්‍රම බලකායෙන් ඉවත්ව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

රටේ සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් දුප්පත්

2022 සහ 2023 වර්ෂවල පන් ලක්ෂ තිස් පන්දහසක් විදේශගත වී තිබෙනවා. 2024 දී ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක් විදේශගත වී තිබෙනවා. මහාචාර්ය ඩඩ්ලි සියර්ස් නැමැති ආර්ථික විද්‍යාඥයාගේ මොඩලය තුළින් බලන විට රටේ ආර්ථික වර්ධන වේගයක් ඇතිවන අවස්ථාවක විරැකියාව වැඩි වී තිබෙනවා. 2017 සහ 2018 වර්ෂවලට සාපෙක්ෂව දුප්පත්භාවය දෙගුණයකින් වැඩි වී තිබෙනවා. සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් රටේ දුප්පත් ජනතාව සිටින බව වාර්තා වෙනවා. ඒ අනුව දුප්පත්භාවය වැඩි වෙමින් , රැකියා ප්‍රශ්න ඇති වෙමින් ඇති නැති පරතරය වැඩි වෙමින් පවතිනවා. ඒ පිළිබඳව ආණ්ඩුව වහාම මැදිහත්විය යුතුයි.

රණසිංහ ප්‍රේමදාස මහතා ගේ සංකල්ප අද අර්බුදයට

කෙසේ නමුත් 1948 දී සහ 1960 අතර කාල වලදී රැකියා ප්‍රශ්නය සහ අසමානතාවයන් සඳහා එවක පැවැති රජයන් ගල් ඔය ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවා. 1977 සහ 1990 කාලයේ දී කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවා. 1977 න් පසු නිදහස් වෙළද කලාප ඇති කරන්න කටයුතු කරනු ලැබුවා. 1989 සහ 1993 ද දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ජන සවිය වැඩසටහන විශේෂ වෙනවා. එම වැඩසටහන තුළ දුප්පත් ජනතාව සදාකාලිකව ම දුප්පත්භාවයෙන් ගලවා ගන්න වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න රණසිංහ ප්‍රේමදාස මහතා කටයුතු කර තිබුණා. එම වැඩසටහන තුළ ශ්‍රම සැපයීම අනිවාර්ය කරන්න කටයුතු කර තිබුණා. ඒ වගේම ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ආරම්භ කරන්නත් දිවංගත රණසිංහ ප්‍රේමාදස මහතා කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් රණසිංහ ප්‍රේමදාස මහතා ගේ මෙම සංකල්පයන් අද අර්බුදයට යමින් තිබෙනවා. ඒ වගේම මෙම විරැකියා අර්බුදය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සෘජුව දැනෙනවා.

විනාශකාරි බදු ප්‍රතිපත්තියක්

වර්තමාන රජය වැට් බද්ද සියයට 18 ක්, සමාගම් බදු සියයට 30 ක්, උපයනවිට ආදායම් බද්දේ සිමාව සියයට 36ක් ලෙස පවතිනවා. මෙවැනි තත්ත්වයක හියුමන් රයිට්ස් වොච් සංවිධානය 2025 ලංකාවේ බදු ක්‍රමය විනාශකාරි බදු ප්‍රතිපත්තියක් ලෙස හඳුන්වා තිබෙනවා. ආණ්ඩුව බදු වැඩි කිරිම හරහා ශ්‍රම සැපයුම සීමා කර තිබෙනවා. සමාගම් මත ඉහළ බද්දක් අය කිරීම හේතුවෙන් සමාගම්වල රැකියා උත්පාදනය අඩුවෙලා තිබෙනවා. ඒ නිසා රැකියා වෙළඳපොළ ඉලක්ක කරගෙන බදු පැනවීම සීමා කරන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. මහා පාරිමාන කර්මාන්ත වැසී යාමේ තත්ත්වයක් මේ හරහා උද්ගතවී තිබෙනවා. ඒ වගේම සුලු හා මධ්‍ය පරිමාන කර්මාන්තවල රැකියා ප්‍රශ්න මතුවී තිබෙනවා. ඒ වගේම 2023 වසරේදී සියයට 15.1 ක කර්මාන්ත අංශයේ රැකියා අහිමි වී තිබෙන බව වාර්තා වෙනවා. මේ වනවිට සුලු හා මධ්‍ය පරිමාන කර්මාන්ත 30 ක් පමණ වැසී ගොස් තිබෙන බවත් වාර්තා වෙනවා. ඒ වගේම ඉහළ නිපුණතාවයක් සහිත වෘත්තිකයින් රට හැර යෑම රටේ අනාගතයට විශාල බාධාවක් ඇති වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ක්ෂණික අවධානය යොමු කළ යුතු වෙනවා.

තරුණ තරුණියන් වෙනත් රටවලට යෑමේ වැඩි ඉඩකඩක්

සියයට 15 අපනයන සේවා බද්ධ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණයට සහ දැනුම ක්‍රියාවලි බාහිරකරණයට බලපෑමක් එල්ල කර තිබෙනවා. 2025 දී ඩොලර් බිලියන 3 ක් උපයා ගන්න බලාපොරොත්තු වුණා. නමුත් ඒ බලාපොරොත්තු මේ වනවිට ඇහිරි ගොස් තිබෙනවා. ආණඩුව ගෙන යන බදු ප්‍රතිපත්තිය හමුවේ රටේ තරුණ තරුණියන් වෙනත් රටවලට යෑමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. ඉන්දියාවේ මන්රේගා වැඩසටහන යටතේ ග්‍රාමීය අංශයේ පවුලක් වර්ෂයකට දින 100 ක් ශ්‍රම බලකායට සහභාගි කරවා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. කර්මාන්ත සමග වෘත්තිය අධ්‍යාපනයක් ලබා දෙන්න ජර්මනිය කටයුතු කර තිබෙනවා. මෙවැනි වැඩසටහන් සම්බන්ධයෙන් ආණ්ඩුව සාකච්ඡා කළ යුතුයි. කෙසේ නමුත් හානි කර බදු ඉවත් කිරීමට, ජාතික රැකියා සහතික කිරීමට, හදිසි තරුණ වැඩසටහන් ඇති කිරීමට, වෘත්තිකයින් රට හැර යෑම අඩු කර ගැනීමට, උපයන විට අදායම් බද්ද අඩු කිරීමට, ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ලංකාවේ රැකියා ප්‍රශ්නයක් තිබෙනවා. කර්මාන්ත අංශයේ සේවා වියුක්තිය වැඩි වන බව සජිත් ප්‍රේමදාස මහතාත් දිගින් දිගටම මතු කරනු ලැබුවා. ඒ අනුව සංඛ්‍යා ලේඛනවලින් ඔබ්බට ගොස් යථාර්ථය තේරුම්ගෙන වැරදි නිවැරදි කරගෙන කටයුතු කරන්න ආණ්ඩුව වහාම සුදානම් විය යුතුයි. එසේ නොමැති වුවහොත් දිගුකාලින ආර්ථික වර්ධනයක් රටට අත් කර ගැනීමට නොහැකි වෙනවා.

ලක් විජය බලාගාරයේ යාන්ත්‍රික දෝෂ ඇති වුණොත්...?

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම හරහා රුපියල් බිලියන අටක පමණ මුල්‍ය පාඩුවක් සිදුවෙලා තිබෙනවා. කෙසේ නමුත් රුපියල් බිලියන අටට වඩා වැඩි පාඩුවක් මේ හරහා සිදුවෙලා තිබෙනවා. ඒ අනුව විදුලි ජනනය සඳහා වැය වන අමතර ගල් අඟුරු ප්‍රමාණය සඳහා වන පිරිවැය, ලක් විජය බලාගාරයේ යාන්ත්‍රික දෝෂ ඇති වුණොත් ඒ හරහා අමතර පිරිවැයක් දැරිමට සිදුවෙනවා. කෙසේ නමුත් මේ හරහා සිදුවී ඇති සමස්ත පාඩුව ගණනය කිරීම සඳහා ඉතා හොඳ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව මෙම ගල් අඟුරු වංචාව හරහා සිදුවී තිබෙන සෘජු පාඩුව ගණනය කර ගැනිමට එම කමිටුවට තිබෙනවා. නමුත් මෙම වංචාව හරහා වක්‍රව සිදුවී ඇති මුල්‍ය හානිය පිළිබඳව තක්සේරු කිරීමට ඔවුන්ට හැකියාවක් නැහැ. ඒ අනුව පරිසර දුෂණය සම්බන්ධයෙන්, විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන්, අඛණ්ඩය විදුලි සැපයුම ලබා දීමට නොහැකි වුවහොත් ඇතිවන ගැටලු සම්බන්ධයෙන්, නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට සම්බන්ධයෙන්, ප්‍රවාහන පිරිවැය ඉහළ යාම සම්බන්ධයෙන්, මෙවැනි වක්‍ර පිරිවැය ගණනය කිරීමට ජනාධිපතිවරයාට සහාය දුන්න රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයින් මෙම කමිටුවට ඇතුළත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. එසේ නැති වුණොත් මෙහි සැබැ පාඩුව ගණනය කර ගැනීමට නොහැකියි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න