ආචාර්ය වික්ටර් රත්නායක අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඉටුකළේ වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක් - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ආචාර්ය වික්ටර් රත්නායක අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඉටුකළේ වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක් - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

සංගීතයට, භාෂාවේ අපූර්වත්වයට අපව වෙනම ම ලෝකයකට රැගෙන යා හැකි බව තමා තේරුම් ගත්තේ වික්ටර් රත්නායක ගැයූ ගීතවලින් බවත්, වසර හැටකට වැඩි කාලයක් ඔහු  අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට  ඉටුකළේ   වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක් යැයි ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පල කළේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙනුවෙන් පැවැත්වූ උපහාර ප්‍රණාම උලෙළෙහි දී ය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙනුවෙන් උපහාර ප්‍රණාම පුද කිරීමේ විශේෂ වැඩසටහනක් "සුභාවිත ගීතයේ සිටුවරයාණෝ...ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය" නමින් පෙබරවාරි  24වන දා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේ දී පැවැත්විණි.

දශක හයකට වැඩි කාලයක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මෙන්ම ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් ආචාර්ය වික්ටර් රත්නායක විසින් ඉටුකරන ලද මෙහෙවරට උත්තාමාචාර පුද කිරීම මෙම  වැඩසටහනේ අරමුණ වූ අතර එතුමන්ට උපහාර ලෙස ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රය තුළ  එතුමන් ගේ ඡායාරූපයක් විවෘත කිරීම ද මෙහි දී සිදු විය.

මෙම උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...

ළමා කාලයේ දී නැරඹූ පළවෙනි ප්‍රසංගය ''ස''

" මම ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ රසිකයෙක්. ඒ නිසාම මේ මොහොත මට ඉතාම විශේෂයි. ඔබට මේ තරම් සමීපව උපහාර පුදකරන්නට මට මගේ  ජීවිතයේ මෙවන්  අවස්ථාවක් ලැබෙයි කියා මම කවදාවත්ම හිතුවෙ නෑ. ඉතින් මේ මොහොත ඉතාමත් සතුටුදායක, සුවිශේෂී ඓතිහාසික මොහොතක්. වසර හැටකට වැඩි කාලයක් ඔබතුමා  අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට  ඉටුකළේ  වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක්.  අපේ රටේ වැඩිම වරක් වේදිකාගත වූ ඒකපුද්ගල සංගීත ප්‍රසංගය වන ඔබතුමාගේ 'ස' ප්‍රසංගය තමයි මගේ ළමා කාලයේ දී නැරඹුව පළවෙනි ප්‍රසංගය.  මට සිංහල භාෂාවේ ගැන ආශාව ඇතිකළේ ඔබේ ගීත. "කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න", "සඟවා ගනු මැන සොඳුරිය" වැනි ඔබ ගැයූ ගීත ආදරය පිළිබඳ සියුම්, අපූර්ව ඉදිරිපත්කිරීම් ගෙනදැක්වූවා. සංගීතයට, භාෂාවේ අපූර්වත්වයට අපව වෙනමම ලෝකයකට රැගෙන යා හැකි බව මම තේරුම්ගත්තේ මේ ගීතවලින්.

රටක් ලෙස අපි වාසනාවන්තයි

ඒ වගේම ඒ ගීත තුළ ගැබ් වූ සංහිඳියාව පිළිබඳ සංකල්ප අපි කතා කළ යුතු ම දෙයක්. 'සරුංගලේ' චිත්‍රපටය වෙනුවෙන්  නිර්මාණය කළ " ඔබ යන ගමනේ මාවත අහුරා"  වැනි ගීතවල සංගීත යෝජනය සහ ගායනය තුළ ඉතා ස්වාභාවික ලෙස අපට විවිධ සංස්කෘතීන්ගේ අපූර්වත්වය  කියා දුන්නා. සැබැවින්ම අපි රටක් ලෙස ඉතා වාසනවාන්ත වෙනවා ඔබ වැනි ඉතා වටිනා ත්‍යාගයක්  අපට ලැබීම පිළිබඳව. ජීවිතවල සෑම විශේෂ මොහොතක් ම වික්ටර් රතනායකයන් ගේ  නිර්මාණ සමඟ බැඳී පවතිනවා.''

එමෙන්ම පසුගිය පෙබරවාරි 18වන දා සිය 84වන ජන්ම දිනය සැමරූ ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙත නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළ අග්‍රාමාත්‍යවරිය  මෙවන් උළෙලක් සංවිධානය කිරීම සම්බන්ධව  ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ස්තුතිවන්ත වූවා ය. මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින තරගකාරිත්වය හමුවේ ගුවන්විදුලි සංස්ථාවට අභියෝග රැසක් පැවතුණ ද සියල්ල ජයගනිමින් ඉදිරියට යෑමේ ශක්තිය ගුවන්විදුලි සංස්ථාව වෙත පවතින බව තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍යවරිය මෙහි දී පැවසුවා ය. මෙරට කලා ක්ෂේත්‍රයේ ජීවමාන විශිෂ්ටයන් අගයමින් ගුවන්විදුලි සංස්ථාව සිදුකරන වැඩසටහන්  අග්‍රාමාත්‍යතුමිය ගේ විෂේශ ඇගයීමකට ද  ලක් විය.

මෙම අවස්ථාවට: බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න , ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ,  ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහචාර්ය උදිත ගයාශාන් ගුණසේකර  යන අය, ආචාර්ය වික්ටර් රත්නායක සූරීන්ගේ පවුලේ ඥාතීන්, රසිකයන් ඇතුළු  සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

 

harini2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න