ගුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලියේ විවෘත බඳවා ගැනීමේ දී උපාධියේ වලංගු දිනය 2026 මාර්තු 05 ලෙස සංශෝධනය කර ඇති බවත්, මෙය ඉතා හොඳ දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ දී හේෂා විතාන ගේ සභාපතීත්වයෙන් යුත් අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ගුරු විභාගයේ ඇති ගැටලු ගැන අදහස් පළ කරමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
''ගුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලියේ විවෘත බඳවා ගැනීමේ දී උපාධියේ වලංගු දිනය 2025.06.30 ලෙස සඳහන්ව තිබුණා. ඒ අවස්ථාවේ විවෘත සේවය සම්බන්ධ වීමට කැමති අය මට ඉල්ලීම් කළා. මේ සම්බන්ධයෙන් රජය ද දැනුවත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමත්, සමග වලංගු දිනය 2026 මාර්තු 05 ලෙස සංශෝධනය කර තිබෙනවා. මෙය ඉතා හොඳ දෙයක්.
ඊට අමතරව සීමිත පදනම යටතේ ගුරු සේවයට බඳවා ගැනීම 2023.02.10 ලෙස වලංගු දිනය සඳහන් කර ඇති නිසා මේ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු කර මෙම දිනය ද දීර්ඝ කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඌන සේවා උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පහළ ම ශ්‍රේණිවල යි සේවය කරන්නෙ. ඔවුන් අවම අධ්‍යාපන සුදුසුකම් ලෙස රාජ්‍ය සේවයට පැමිණ වැඩිදුර අධ්‍යාපනය ලබා පශ්චාත් උපාධි දක්වා සිය අධ්‍යාපනය වර්ධනය කර ගෙන ඇති බැවින් මොවුන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන්න. මොවුන්ට ද ගුරු සේවයට පැමිණීමට අවස්ථාව ලබා දෙන්න.
එසේම පුරාවිද්‍යා උපාධිය ලැබූ උපාධිධාරින් විශාල ප්‍රමාණයක් සිටින නමුත් මොවුන්ට මේ චක්‍රලේඛ නුව ඉතිහාසය ඉගැන්වීම සිදු කළ නොහැකි යි. මොවුන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර සාධාරණත්වය ඉටු කරන්න.

