දුම්රිය රියදුරන් වර්ජනයකට සැරසෙන විට හමුදාව යොදවා දුම්රිය ධාවනය කිරීමට ආණ්ඩුව සැරසෙන්නේ නම් එය මීට වසර පනහකට පමණ පෙර ජේ. ආර්. ජයවර්ධන ට පාලනය කිරීමට ගත් පියවර ම යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ දුම්රිය රියදුරන් වර්ජනය කළහොත් යුද හමුදාව යොදවා දුම්රිය ධාවනය කරනවා යැයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක කළ ප්‍රකාශයට විරෝධය පළ කරමිනි.
එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ රවි දුමුදේශ්....
ආණ්ඩුවේ දේශපාලන න්‍යාය දුර්වලයි
''රියදුරන් වෙනුවට, රොබෝලා දාන්න බලාගෙන පත්කරපු ආණ්ඩුව, අවුරුදු පනහකට කලින් JR කියපු එක කියන්න තරම් බංකොලොත් වෙලා, දුම්රිය රියදුරන් වෙනුවට ආමි එක දානවා කියන ආණ්ඩුවේ සහ බිමල් ගේ තර්ජනය කියන්නේ දැනුමේ සහ හැකියාවේ බංකොලොත් බවක්. දුම්රිය සේවාවට හෝ සෞඛ්‍ය සේවාවට යුද හමුදාව යොදවා “පාලනය” කරනවා කියන තර්ජනය මේ රටට අලුත් දෙයක් නොවේ. 1980 දී එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් කියපු පරණ එකක්. ඒ දවස්වල “JR මරමු” කියලා කිව්ව ජවිපේ ආණ්ඩුවක ඇමතිවරයෙකුට අවුරුදු පනහකට පස්සේ ආයෙත් ඒ වගේ එකක් කියන්න සිදුවීම මගින් තහවුරු කරන්නේ ඔවුන්ගේ දේශපාලන න්‍යායන්වල තියන දුර්වලතාවය සහ මතවාදවල බංකොලොත්භාවය මිස වෙන එකක් නෙවේ.
ආණ්ඩුව රට පාලනය කරන්නේ බියෙන්
“ක්‍රම වෙනස” කියා ජනතාව අරගල කර පත් කළ ආණ්ඩුවක්, අවුරුදු පනහකට පෙර ජනතාව ප්‍රතික්ෂේප කළ පරණ ක්‍රමයම කරේ තබාගෙන යන්නේ නම්, ඒක රට අලුත් කරන ආණ්ඩුවක් නෙවෙයි. ඒක පරණ, බිය පාලනයක් (fear-based governance) නැවත ගෙන එන උත්සාහයක්. ආණ්ඩුව කල්පනා කළ යුතු දේ යුද හමුදාව යොදවා වෘත්තීය සමිති මර්දනය කිරීම නොවේ. අද ලෝකය ඉදිරියට යමින් තිබෙන්නේ කොහොමද කියන එක. අද ලෝකයේ පොඩි පොඩි රටවල්වල ප්‍රවාහන ඇමතිලා පවා කතා කරමින් ඉන්නේ, රියදුරන් නැති දුම්රිය (driverless trains), ස්වයංක්‍රීය පාලන පද්ධති, කෘතිම බුද්ධිය (Artificial Intelligence), රොබෝ තාක්ෂණය, වැනි දේවල් ගැන. ලෝකයේ බොහෝ රටවල දුම්රිය සේවාව automation මත දුවනවා. රට පාලනය කරන්නේ බියෙන් නොවේ. නවෝත්පාදනයෙන් (innovation) ය.
මහජන සේවාවන් ආරක්ෂා කිරීම යනු කුමක් ද?
රට අලුත් කරන ආණ්ඩුවක් කියන්නේ: “ඔබ වැඩ නතර කළොත්, අපි හමුදාව දානවා” කියන එකක් නොවේ. “ඔබ වැඩ නතර කළොත්, අපි තාක්ෂණයෙන් පද්ධතිය පවත්වාගෙන යනවා” කියන ගැඹුරු පද්ධතිමය සූදානමක් ඇති එකක්. දුම්රියේ හෝ සෞඛ්‍ය සේවාවේ හෝ සුපිරි වෙළඳසැල්වල සේවකයන්ට තර්ජනය කරන්න ම ඕන නම් අලුත් ලෝකයට ගැළපෙන විදිහට ඒක කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. මහජන සේවාවන් ආරක්ෂා කිරීම කියන්නේ, වෘත්තීය සමිති මර්දනය කිරීම නොවේ. රටට ඕනේ රාජ්‍ය සේවාව නවීකරණය කරන ආණ්ඩුවක්; පවතින ගතානුගතික තැන් අලුත් ක්‍රමයට අනුගත කරන ආණ්ඩුවක්; මහජන සේවාවන් කාර්‍යක්ෂමව කිරීමට නව තාක්ෂණ න්‍යායන් භාවිතා කිරීමට දැනුම තියන ආණ්ඩුවක්. ස්ට්‍රයික්වලට කැමති නැති මහජනතාව ලවා මේ වගේ මෝඩ තර්ජන වලට හුරේ දාන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලීනව එය ගොඩනගන්නේ. පුරවැසියන්ට අයිතිවාසිකම් නැති, ආණ්ඩුව කියන විදිහට ජීවත් වීමට සිදුවන වහල් පාලන ක්‍රමයක්. නොදන්නාකමට හෝ මේ වෙලාවේ ආණ්ඩුවට උඩගෙඩි දෙන අයට අපි කියන්නේ, වෘත්තීය සමිති නැති රටවල්වල ආණ්ඩු වැඩ කරන්නේ කොහොමද කියලත් පොඩ්ඩක් හොයලා බැලුවානම්, ඒ වගේ රටවල අවසානයේ දී නැති වෙලා තියෙන්නේ මහජනතාවගේ අයිතිය කියන එක තේරුම් ගන්න අමාරු වෙන එකක් නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය වන්නේ එවැනි රටක් නොවේ. අපිට අවශ්‍ය වන්නේ අයිතිවාසිකම් සහ නවෝත්පාදනය එකට ගැළපෙන, තර්ජනයෙන් නොව තාක්ෂණයෙන් පාලනය වන, 21 වන සියවසේ රටක්.''

