බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති, ප්‍රහසන ශිල්පිණි නතාෂා එදිරිසූරිය ගෙන් සමාව ගනී

බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති, ප්‍රහසන ශිල්පිණි නතාෂා එදිරිසූරිය ගෙන් සමාව ගනී

සිවිල් ක්‍රියාකාරිනියක සහ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්. එම්. යූ. සුබසිංහ අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඇයට ලිඛිතවම කනගාටුව පළ කළේය.

එසේම මෙම පනත යටතේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිදු වීම වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලු ම පොලිස් නිලධාරීන් වෙත චක්‍රලේඛයකින් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කටයුතු කරන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

එම චක්‍රලේඛය සති දෙකක් තුළ නිකුත් කරන බවත්, පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය එම මාර්ගෝපදේශ පරීක්ෂා කර බලා ඊට එකඟත්වය පළ කළ බවත් නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

තමන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව අද විනිසුරු පී. පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙලෙස කනගාටුව පළ කිරීමත්, පොලිස් චක්‍රලේඛය නිකුත් කිරීම පිළිබඳ දැනුම් දීමත් සිදු විය. ඒ අනුව අදාළ පොලිස්පති චක්‍රලේඛය නිකුත් කර සති දෙකක් ඇතුළත මෝසමක් මඟින් අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ අධිකරණය, නඩු කටයුතු අවසන් කිරීමට ද නියෝග කළේ ය.

නතාෂා එදිරිසූරිය අද විවෘත අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර, නඩු කටයුතු මෙලෙස අවසන් කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරු පී. පද්මන් සූරසේන ඇය අමතමින් සඳහන් කළේ අධිකරණය එය අගය කරන බවයි.

ලිඛිතව ඉදිරිපත් කළ කනගාටුව පළ කිරීමේ ලිපියේ මෙසේ සඳහන් විය:

"අත්අඩංගුවට ගත් නිලධාරියා ලෙස, සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, 2023 මැයි මස 27 වන දින සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම සහ ඒ හේතුවෙන් 2023 ජූලි මස 5 වන දින දක්වා ඔබ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සම්බන්ධයෙන් මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි. එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔබ ගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදු වූ හානිය මෙන්ම ඔබට ඇති වූ මානසික හා චිත්තවේගීය පීඩාවන් සම්බන්ධයෙන් ද මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි."

 

Tharindu Uduwaragedara 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න