ගොවියන් ගේ, කම්කරුවන් ගේ ආණ්ඩුවක්, පීඩිත පන්තියේ ආණ්ඩුවක් යැයි පවසාගෙන බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුව ද දැන් ආර්ථික ප්‍රතිපත්ති සකසන්නේ වී ගොවියාව තුට්ටුවකට මායිම් නොකර යැයි ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ වී සඳහා සාධරණ මිලක් නියම නොකර මහාපරිමාණ හාල් මෝල් හිමියන් රකින ආණ්ඩුවේ වැඩපිළිවෙළ සමබන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ගොවි අරගල ව්‍යාපාරය අද (18) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විමල් වත්තුහේවා...
ගොවියන් ගෙන් වී ගන්නෙ සොච්චම් මුදලකට
''පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහාවාරිමාග ව්‍යාපාර ප්‍රදේශවල හැර ලංකාවේ අනෙක් සියලු දිස්ත්‍රික්කවල මේ වෙද්දි ගොයම් කැපීම ආරම්භ වෙලා තියනවා. හැබැයි පසුගිය කන්නවල වගේම මේ කන්නයේත් වී මිල තුට්ටු දෙකට වැටිලා. ගොවියන්ගේ කම්කරුවන්ගේ ආණ්ඩුවක්, පීඩිත පන්තියේ ආණ්ඩුවක් කියාගෙන බලයට ආව ජාතික ජන බලවේග ආණ්ඩුවත් දැන් වී ගොවියව තුට්ටුවකට මායිම් නොකර තමයි ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ. ඊයෙ හවස් වෙද්දිත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී කිලෝ එක ගියේ රුපියල් 85ට. දැන් අද උදේ වී ගන්න එක තාවකාලිකව නවත්තලා දාලා. ඊටපස්සෙ වෙන්නේ ආයෙම වටයකින් තව රුපියලක් දෙකක් අඩුවෙන එක. මඩකළපුව දිස්ත්‍රික්කයේ තව දවසක් දෙකක් යනකොට සියලුම වගා බිම්වල ගොයම් කැපීම් අවසන් වෙනවා. ඒ ගොවියන්ට වී දෙන්න වුණේ රුපියල් 72 - 80ක් වගේ සොච්චම් මුදලකට.
ආණ්ඩුව වෙන් කළ මුදල් දවස් අටකට ඇති
මෙහෙම තියෙද්දි තමයි කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවයි, වී අලවි මණ්ඩලයයි මාධ්‍ය සාකාච්ඡා තියලා පම්පෝරි ගහන්නේ අපි වී ගන්න බිලියන දහයක් වෙන් කළා කියලා. අපි දන්නවා ඔය කතාවම මීට කලින් කන්නෙදිත් ආණ්ඩුව කිව්වා. හැබැයි පහුගිය කන්නයෙත් මිලියන 6000ක් වෙන් කරලා තිබුණට ආණ්ඩුවට මිලදී ගන්න පුළුවන් වුණේ වී මෙට්‍රික්ටොන් 50,000ක් විතරයි. දැන් මේ පාර වෙන් කරපු බිලියන දහයෙන් නාඩු වී විතරක් මිලදී ගත්තත් ගන්න පුළුවන් වෙන්නේ වී මෙට්‍රික්ටොන් 83,333යි. ඒක ලංකාවේ ජනතාවට දවස් අටක්වත් කන්න දෙන්න පුළුවන් කමක් නැහැ. වී මාෆියාව නැති කරනවා හාල් මෝල් හිමියන්ට පාඩම් උගන්නව කියලා පම්පෝරි ගහපු ආණ්ඩුවක් මේ තියෙන්නේ. දවස් අටකට විතරක් ඇතිවෙන හාල් මිලදී අරගෙන ආණ්ඩුව සහල් මාෆියාත් එක්ක හැප්පෙන්නේ කොහොමද කියලා ආණ්ඩුව පැත්තෙන් රටට පැහැදිලි කරන්න ඕන.
වී ගබඩාවලට සේවකයින් නැහැ
මේ පාර වී ගබඩා එකසිය හතළිස් ගාණක් විවෘත කරල තියනවා කියලා කිව්වට අඩුමතරමින් ඒ ගබඩාවලට අවශ්‍ය සේවකයන් ප්‍රමාණයවත් බඳවගෙන නැහැ. එකම සේවකයට ගබඩා දෙකතුනක සේවය කරන්න වෙලා. අම්පාර දිස්ත්‍රික්කයේ එක සේවකයෙක් ගබඩා තුනහතරක් පාලනය කරනවා. උදේට එකක් අරිනවා ආයෙ දවල්ට ඒක වහලා දාල තව එකකට යනවා. එහෙම තමයි වී මිලදී ගැනීම කරන්න වෙලා තියෙන්නේ. ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුද්දකුත් මාස තුනක් ඉවරයි. හැබැයි වී අලවි මණ්ඩලේ ගබඩාවලට ඕන සේවකයන්ව තාම බඳවගෙන නැහැ.
වී වේළා ගැනීමේ අපහසුතා
මේ කන්නයේ වගා කරලා තියනවා හෙක්ටයාර ලක්ෂ අටක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ පාර වී මෙට්‍රික්ටොන් ලක්ෂ 30ක් වගේ ප්‍රමාණයක් ලැබෙන්න නියමිතයි. ඒ නිසා ආණ්ඩුවේ බිලියන දහයෙන් කරන්න පුළුවන් බක්කක් නැහැ. අනික් පැත්තෙන් පොළොන්නරුව සහ ත්‍රීකුණාමලේ දිස්ත්‍රික්කවල දැන් වැස්ස පටන් අරගෙන. ඒ නිසා ගොවියට වී ටික වේළගන්න විදිහක් නැහැ. පොඩි හරි අව්වකට පාරේ දාලා තමයි වී ටික වේලගන්න තිබුණේ. හැබැයි දැන් නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා කියලා පොලීසිය කරන්නේ පාරේ වී වේළන වී ගොවියව අල්ලගෙන ගිහිල්ලා නඩු දාන එක. අඩුමතරමින් තෙත වී සඳහා සාධාරණ සහතික මිලක් දෙන්න්වත් ආණ්ඩුව පැත්තෙන් මැදිහත් වෙන්න ඕන. හැබැයි දැන් ඒකවත් වෙන්නෙ නැහැ.
නාඩු වගා කළ ගොවියෝ විශාල අසාධාරණයකට ලක් වෙලා
මේ පාර ආණ්ඩුව නාඩු වී සඳහා නියමවෙලා තියන සහතික මිල එක රුපියලක් ඉහළ දාලා නැහැ. අපි දන්නවා කන්නයකට හෙක්ටයාර ලක්ෂ අටක් වගා කරනවනම් ඒකෙන් හෙක්ටයාර් හත් ලක්ෂ පනස්දාහක් විතර වවන්නේ නාඩු වී. හැබැයි නාඩු වී මිල වැඩි නොකරපු නිසා නාඩු වගා කරපු ගොවියෝ දැන් විශාල අසාධාරණයකට ලක් වෙලා. මේ තත්වය එක්ක වී ගොවියා අන්ත අසරණ වෙලා. පසුගිය කන්නවලට සාපේක්ෂව ගත්තම මේ වෙද්දි වී නිෂ්පාදන වියදම දෙගුණයකින් තුන් ගුණයකින් ඉහළ ගිහිල්ලා තියනවා. පසු ගිය කන්නයට වඩා බිත්තර වී මිල රුපියල් හාරසීයකින් විතර වැඩිවෙලා. පොහොර මිටියක් රුපියල් 500කින් ඉහළ ගියා. ශ්‍රම කුලිය රුපියල් 500කින් වැඩිවෙලා. තෙල් බෙහෙත් ඇතුළු සොයලු නිෂ්පාදන වියදම් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. තව පැත්තකින් පසුගිය දිට්වා ආපදාව නිසා පූරණ සහ අර්ධ වශයෙන් වගා හානි වුන ගොවීන්ට කිසිඳු වන්දි මුදලක් පවා මේ වෙද්දි හම්බ වෙලා නැහැ.
ආණ්ඩුව, හාල් මෝල් මාෆියාව පරද්දපු විදිය
ආණ්ඩුවේ මේ නිසි කළමනාකරණයක් නැති, සොයා බැලිල්ලක් නැති වැඩපිළිවෙළ නිසා වී ගොවියට වෙලා තියෙන්නේ වහ කන්න. ගොවිතැන් සඳහා ගත්ත ණය ටික ගෙවාගන්න විදිහක් නැහැ. ළමයි ටික ඉස්කෝලෙට යවාගන්න විදිහක් නැහැ. වී ගොවියා මෙහෙම අසරණ වෙලා ඉද්දි තමයි මහාපරිමාණ හාල් මෝල් හිමියෝ ලෝකේ සැප අධිකම වාහන ලංකාවට ගෙනල්ලා ෆොටෝ දාන්නේ. ලෝකෙන්ම 25කට විතරයි ඒ කාර් එක තියෙන්නේ කියලා පම්පෝරිත් ගහනවා. තව හාල් මෝල් හිමියෙක් සිඟප්පූරු යනවා ජෙට් බලන්න. ඔන්න ආණ්ඩුව හාල් මෝල් මාෆියාව පරද්දපු විදිහ. ඒ නිසා ආණ්ඩුවේ මේ දීන ප්‍රතිපත්තිය දිහා තවදුරටත් බලාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. අපි ලංකාවේ සියලු ගොවි ජනතාවට කියනවා හාල් මෝල් මාෆියාව පරාජය කිරීම සඳහා ශක්තිමත් ජනතා බලයක් අපිම ගොඩනැගිය යුතුයි. අතරමැදි හාල් මෝල් හිමියන්ට වාසි යන ක්‍රමය වෙනුවට ගොවියන් විසින්ම වී ටික සහල් කරලා විකුණන සමූපකාර ක්‍රමයකට අපි යන්න ඕන. ඒ සඳහා එකතුවෙමු සංවිධානය වෙමු සටන් කරමු කියන යෝජනාව අපි ජනතාවට ඉදිරිපත් කරනවා.''

