සමාජ පරිවර්තනයකට අවශ්‍ය නූතන සිසුවා නිර්මාණය කළ යුත්තේ කෙසේ ද...? - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැහැදිලි කරයි

සමාජ පරිවර්තනයකට අවශ්‍ය නූතන සිසුවා නිර්මාණය කළ යුත්තේ කෙසේ ද...? - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැහැදිලි කරයි

සමාජ පරිවර්තනයකට අවශ්‍ය නූතන සිසුවා නිර්මාණය කිරීමට හැකිවන්නේ ගුණාත්මක විෂයමාලා හැදෑරීමකින් සහ පුහුණුවකින් සමන්විත වූ ගුරුවරුන් පාසල් පද්ධතියට එක්කිරීමෙන් යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (16) 'ඉසුරුපාය' අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි විෂයමාලා නවීකරණය කිරීම සම්බන්ධ මෙහෙයුම් කමිටු සාමාජිකයින් සමග පැවති සාකච්ඡාවක දී ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සෑම ගුරුවරයෙකුම උපාධි සුදුසුකම් සහිත අයෙක් විය යුතුයි යන රජයේ සංකල්පයට අනුව, විද්‍යාපීඨ විෂයමාලා නවීකරණය සිදුකළ යුතු ආකාරය සහ විද්‍යාපීඨ ඩිප්ලෝමාව අධ්‍යාපනවේදී උපාධියක් දක්වා උසස් කිරීමේ දී, ශිෂ්‍යයන්ගේ දක්ෂතා සහ පාඨමාලාවල ප්‍රමිතිය මැන බැලීමට අවශ්‍ය මාර්ගෝපදේශ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල විෂයමාලා නවීකරණය කිරීම සම්බන්ධ මෙහෙයුම් කමිටු සාමාජිකයින් හට ලබා දීම ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සිදුකරන ලදි.

එහි දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ අනාගතයේ දී අත්පත් කර ගැනීමට අපේක්ෂිත ඉලක්කයක් වන සෑම ගුරුවරයෙකු ම උපාධිධාරියෙකු බවට පත් කිරීමේ සංකල්පයේ පළමු පියවර ලෙස විද්‍යාපීඨ විෂයමාලා නංවාලීම හඳුන්වාදිය හැකි බව යි. එසේම විද්‍යාපීඨ තුළ මානව සම්පත සහ යටිතල පහසුකම් දියුණු කිරීම පිළිබඳවත්, සිසුන් දැඩි පීඩාවකට පත් නොවන සේ සමබරව පාඨමාලා කාලසටහන් සෑදීම පිළිබඳවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා ය.

මෙම අවස්ථාවට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු අධ්‍යාපන ප්‍රධාන කොමසාරිස් පී.ඩී. ඉරෝෂනී කේ. පරණගම ඇතුළු ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

DSC09699 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න