රජයට මතවිමසුමකින් ඉහළ ප්‍රතිශතයක් ලැබුණ නිසා උද්දාමයට පත්ව සිටිනවා නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (17) පාරිලිමේන්තුවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
පළාත් සභා මැතිවරණය කල් දමන්නේ ඇයි...?
''රජයට මතවිමසුමකින් ඉහළ ප්‍රතිශතයක් ලැබුණ නිසා උද්දාමයට පත්ව සිටිනවා. රජය මේ තරම් ජනප්‍රිය යැයි හිතනවා නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස යෝජනා කරනවා. කමිටු, තේරීම් කාරකසභා ආදී උප්පරවැට්ටි යොදා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න යැයි කියමින් විවිධ උපක්‍රම උපයෝගී කර ගෙන පළාත් සභා මැතිවරණය කල් දමන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතිනවා. රජයට 65%ක ජනතා කැමැත්තක් තිබේ නම්, සමූපකාර ඡන්ද ගණන් ගන්නේ නැතිනම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස රජයට රජයට කියනවා. මහමැතිවරණයෙන් පසු රජයට පළාත් පාලන මැතිවරණයෙන් ලක්ෂ 23ක ඡන්ද අහිමි වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් අවශ්‍යයි
මම විශ්වාස කරන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතු යි. ඒ පදනමේ ඉදිරියටත් සිටිනවා. ඒ ගැන සෘජුවම ප්‍රකාශ කරනවා. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඒ විශ්‍රාම වැටුප මහජන නියෝජිතයන්ට ලබා දෙන්නේ අල්ලස හා දූෂණය අවම කර තුරන් කිරීමට යි. ඒ ස්ථාවරයේ සමගි ජන බලවේගය සිටිනවා.
රජය වැඩිහිටියන් ගේ විශ්‍රාම වැටුපත් නැති කළා
පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් ගේ විශ්‍රාම වැටුප ගැන කැක්කුමක් තිබෙන රජය 750000ක් ආදී විශ්‍රාමිකයන් ගේ වැටුප් සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය පැහැදිලි නැහැ. බී. සී. පෙරේරා කමිටුවේ රාජ්‍ය සේවකයන්ට 60%ක වැටුප් වැඩිවීමක් ශ්‍රී ලංකා ගුරු විදුහල්පති උපදේශක සේවාවන්ට ලබා නොදීම තුළ විශාල විෂමතාවක් නිර්මාණය වී තිබෙනවා. සුබෝධනී කමිටුව 20%කින් වැඩි කිරීමත් එහි බලපෑම 2022 ජනවාරි මස 1 වැනිදා සිට සක්‍රීය සේවයේ නිරත අයට පමණක් සීමා කිරීම තුළ විශ්‍රාම ගිය අයට කිසිදු සහනයක් නැහැ. ජනාධිපතිවරයා විශ්‍රාමික ජාතික සමුළුවේ දී මොවුන් ආමන්ත්‍රණය කර විසදනවා කිව්වත් ඒ කිසිවක් විසඳා නැහැ.
2025-2027 වැටුප් වැඩිවීමක් කළත් 2020-2024 කාලයේ විශ්‍රාම ගිය 154000කට කිසිදු සහනයක් නැහැ. 2025 අප්‍රේල් 1 වැනිදා පෙර විශ්‍රාම ගිය, එනම් ජනවාරි සිට මාර්තු විශ්‍රාම ගිය අයට මේ සහන ලැබුණත් 2020-2024 කාලයේ විශ්‍රාම ගිය අයට ගැලපීමක් නොකළ නිසා මොවුන් අනාථ වෙලා. 10000 වැටුප් වැඩි කිරීම විශ්‍රාම වැටුපට ගැළපීමේ ක්‍රියාවලිය ගෝඨාභය රජය අවලංගු කළ පසු මේ අසාධාරණය නිවැරදි කිරීම වසර 3ක් පුරාවට ක්‍රියාත්මක කිරීම නිසා විශාල විශ්‍රාමිකයින් පිරිසක් දැඩි පීඩනයට ලක් වෙලා.
රජයට 76 වසරක් සාපයක් වුණාට රටට නම් වුණේ හොඳක්
76 වසරක තුළ කිසිදු දෙයක් නොවුණු ආකාරයට රජය දැන් කතා කළත් 30 වසරක මහවැලිය වසර පහකින් අවසන් කිරීමත්, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ක්‍රියාත්ක කිරීම ජාතික සුබසාධන රාජ්‍ය ඇති කර ළමා මරණ මාතෘ මරණ අඩු කර ආයු කාලය වැඩි කර තිබෙනවා. නිදහසින් පසු මේ කාලයේ රටට සුවිශාල සේවාවක් සිදුවුණා.
තෙතමනය සහිත රජය වැඩිහිටි ඉතිරි කිරීම්වල 15% පොළියත් කැපුවා
තෙතමනය සහ සංවේදී ආණ්ඩුවක් තිබේ නම් ඇයි වැඩිහිටි ප්‍රජාවට ලක්ෂ 15 ඉතිරිකිරීම්වලට දුන් 15% අහිමි කළේ...? මේ ලක්ෂ 15 සීමාවට 15%ක දුන් පොලිය අදටත් නෑ. අදටත් විදුලි බිල අඩු කරල නෑ. 33%කින් විදුලි බිල අඩු කරනවා යැයි කිව්වත් අදටත් එය සිදු නොවූ බවත් දැන් දෙවැනි කාර්තුවට 13.56%කින් විදුලි බිල වැඩි කරන්න රජය යෝජනා කර තිබෙනවා. ඊට අමතරව ගාල්ල බූස්ස කඳවුරේ සිටින ආබාධිත රණවිරුවන් අද පනාගොඩට යවන්න හදනවා. සංවේදී ආණ්ඩුව කරන්නේ මේවා.''

