පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ගේ සංචාරය සහ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.
මෙරටට පැමිණ සිටින පාකිස්තානයේ අභ්‍යන්තර සහ මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය Syed Mohsin Raza Naqvi, විදේශගත පාකිස්තානු ජාතිකයින් සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය chaudhry Salik Hussain යන අය ඇතුළු නියෝජිත පිරිස අද (16) ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ඉල්ලීම පිළිගෙන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට සිය කෘතඥතාව පළ කළේ ය. දිට්වා සුළි කුණාටුව ඇතුළු ශ්‍රී ලාංකික ජනතාව අසීරුතාවට මුහුණ දුන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට පාකිස්තානය ලබා දුන් සහාය ද ජනපතිවරයා කෘතවේදීව අගය කළේ ය.
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තරගයට එක් වීමට තීරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ දුරකතන සංවාදයෙන් අනතුරුව බව මෙහි දී සඳහන් කළ අමාත්‍ය Syed Mohsin Raza Naqvi ඒ පිළිබඳ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කළේ ය.
ශ්‍රී ලංකා රජය විසින් තම ක්‍රිකට් කණ්ඩායම ඇතුළු පිරිසට පිරිනමන ලද සුහදශීලී ආගන්තුක සත්කාරය පිළිබඳව මෙන්ම ශ්‍රී ලාංකික ජනතාව දැක් වූ මිත්‍රශීලි සහයෝගය පිළිබඳවද අමාත්‍යවරයා වැඩිදුරටත් කෘතඥතාව පළ කළේ ය.
එමෙන්ම, ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් කලාපය තුළත් ඉන් පිටතදීත් සහයෝගයෙන් කටයුතු කිරීම පාකිස්තානයේ අභිප්‍රාය බව සඳහන් කළ නියෝජිත පිරිස එහි දී ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහාය අගයමින් විශේෂයෙන් දෙරට අතර ආයෝජන, ශ්‍රම වෙළෙඳපොළ සහ සංචාරක කර්මාන්තයට අදළ කරුණු පිළිබඳ ඉදිරියේ දී වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළහ.
කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් Mag.Gen.(R) Faheem UL Aziz පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Sumair Ahamad Syed, ශ්‍රී ලංකාවේ පාකිස්තාන නියෝජ්‍ය මහ කොමසාරිස් Zunaira Latif යන අය ඇතුළු පාකිස්තාන රජයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ජනාධිපති මාධ්‍ය අංශය


