අකුරේගොඩ දී ඝාතනය කළ නීතිඥවරයා ඉලක්ක කරගනිමින් මඩ ව්‍යාපාරයක්  ආරම්භ කරලා - නීතිඥ රජිත ලක්මාල්

අකුරේගොඩ දී ඝාතනය කළ නීතිඥවරයා ඉලක්ක කරගනිමින් මඩ ව්‍යාපාරයක්  ආරම්භ කරලා - නීතිඥ රජිත ලක්මාල්

අකුරේගොඩ දී ඝාතනය කළ නීතිඥවරයා ඉලක්ක කරගනිමින් මඩ ව්‍යාපාරයක්  ආරම්භ කර තිබුණ බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විරෝධය පළ කර තිබෙන බවත් සමගි ජනබලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් නීතිඥ රජිත ලක්මාල් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (16) සමගි ජන බලවේගය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රජිත ලක්මාල්...

නීතිඥයා ගේ මරණින් පසුව වගකිව යුතු පාර්ශ්වයේ හැසිරීම ලජ්ජාසහගතයි  

''අකුරේගොඩ දී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සියලු නීතිඥවරුන් අද දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම සියලු නීතිඥවරුන් අද දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය වසර 14 කට පසු රැස්වී තිරණය කරනු ලැබුවා. අකුරේගොඩ දී ඝාතනය වුණ නීතිඥවරයා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වීම සහ ඉදිරි නීතිමය කටයුතුවල දී නීතිඥ සංගමයේ සහාය ලබාදීමට කටයුතු කරනු ලබනවා. එම පරීක්ෂණ කටයුතු නිසි පරිදි සිදු වන්නේ නැතිනම් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය තිරණයක් ගනු ලබනවා. මෙම ඝාතනය සිදුවී ඉතා කෙටි කාලයක් තුළ මියගිය නීතිඥවරයා ඉල්ලක කරගනිමින් මඩ ව්‍යාපාරයක්  ආරම්භ කර තිබුණා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විරෝධය පළ කර තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නීතිඥ සංගමයත් විරෝධය පළ කරනු ලබනවා. කෙසේ නමුත් මෙම නීතිඥයාගේ මරණින් පසුව වගකිව යුතු පාර්ශ්වයන් නිර්ලජ්ජිත  ආකාරයට හැසිරුණා. ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නීතිඥ සංගමය කණගාටුවට පත් වෙනවා.

ලංකාවේ සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරු පමණයි

අපරාධකරුවන්ගෙන් මුදල් ලබා ගන්නා බවට නිතිඥවරුන්ගෙන් විශාල චෝදනාවක් එල්ල වෙනවා.  නමුත් ජනතාව රජයෙන් ලබාගන්නා සේවාවලට වැඩි දායකත්වයක් අධිකරණයෙන් වැරදිකරුවන් වෙන පුද්ගලයින් ලබාදෙනවා. වැරදිකරුවන්ට නියම කරන දඩ මුදල්වලිනුයි රජය පවත්වාගෙන යන්නේ. මියගිය නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු නොවන පාතාල ක්‍රියාකාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙකු බවට විවිධ අසත්‍ය ප්‍රතිචාර සමාජ ගත කරන්න පිරිසක් උත්සහ කළා. කෙසේ නමුත් ලංකාවේ සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරු පමණයි. නීතිඥවරු යනු අපරාධකරුවන් නෙවෙයි. නීතිඥවරු අපරාධකරුවන්ට සහාය දක්වන්නෙත් නැහැ. ඒ වගේම සාධාරණ නඩු විභාගයකට මුහුණ දෙන්න සියලු ම පුරවැසියන්ට අයිතියක් තිබෙනවා.  ඕනෑම පුද්ගලයෙකුට නීතිඥ සහාය ලබා ගන්න ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තිබෙනවා. සමථ මණ්ඩලයට හැර ඕනෑම ස්ථානයකට නීතිඥවරයෙකු සම්බන්ධකරගන්න අයිතියක් තිබෙනවා නීතිඥ වෘත්තිය තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම රකින්න.  එසේ නැතිනම් නීතිඥවරුන් අපරාධකරුවන් රකින්න කටයුතු කරන්නේ නැහැ. 

සිවිල් පුරවැසියන් ගේ සහ වෘත්තිකයන් ගේ ජීවිත දැඩි අනතුරක

රටතුළ හදිසි නීතිය ක්‍රියාත්මක වෙනවා. මෙම නීතිඥයාගේ මරණය සිදුවුණ ස්ථානයේ සිට මීටර් 800 ක දුරින් හමුදා මුලස්ථානය පිහිටා තිබෙනවා.  වර්තමාන ජනාධිපතිවරයා සිටින්නෙත් පැලැවත්ත ප්‍රදේශයේ. ඒ අනුව මෙම ඝාතනය සිදුවී තිබෙන්නේ අධි ආරක්ෂිත කලාපයක. නිතිඥයාගේ ඝාතනය සිදුවීමෙන් පසු රටේ තවත් ස්ථාන දෙකක ඝාතන දෙකක් සිදුවෙනවා. කෙසේ නමුත් රටේ ජාතික ආරක්ෂාව රකින්නයි ජනතාව ජාතික ජනබලවේගයට බලය ලබාදුන්නේ. රටේ සිවිල් පුරවැසියන් ගේ සහ වෘත්තිකයන් ගේ ජීවිත දැඩි අනතුරකයි තිබෙන්නේ. කෙසේ නමුත් රටේ පුරවැසියන්ට සහ වෘත්තිකයන්ට නිදහසේ රට තුළ ජිවත් වීමට අවශ්‍ය වටපිටාවක් සකස් කර දීම ආණ්ඩුවේ වගකීමක්. කෙසේ නමුත් එවැනි ආරක්ෂිත වටපිටාවක් සකස් කරන්න ආණ්ඩුව නොහැකි වී තිබෙනවා. ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් රටේ සිවිල් පුරවැසියන් ගේ සහ වෘත්තිකයන් ගේ ජීවිත අනතුරට පත්වී තිබෙනවා. මෙම නීතිඥයා ගේ ඝාතනය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නිතිඥ සංගමයකුත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වර්තමාන ආණ්ඩුවට ජනතාව බලය ලබාදුන්නේ නිවේදන නිකුත් කරමින් පරණ ආණ්ඩු විවේචනය කරන්න නෙවෙයි. කෙසේ නමුත් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමගි නීතිඥ සංගමය දැඩි විරෝධය දක්වා සිටිනවා. නීතිඥවරු වෘත්තිමය කටයුතුවලින් ඉවත් වුණාට සේවාදායකයන්ට එය බාධාවක් වෙන්නේ නැහැ. නීතිඥවරුන් ගේ ඉවත් වීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය සියලු ම අංශවලට දන්වා තිබෙනවා. මෙවැනි විරෝධයක් නිතිඥවරු දැක්වූවේ නැතිනම් ජනතාවට විශාල අගතියක් සිදුවෙනවා.

ආණ්ඩුව කටයුතු කරන්නේ කටින් විතරයි

අපරාධකරුවන්ට නිතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඕනෑතරම් නීති තිබෙනවා. නමුත් නීතිය හා සාමය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අයිතිය තිබෙන්නේ පොලිසියට. පොලිසියට කිසිදු නීතිමය අඩුපාඩුවක් නැහැ. නමුත් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න යන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතියේ කිසිදු අඩුපාඩුවක් නැහැ. නිතිය ක්‍රියාත්මක කරන ආයතනවලයි අඩුපාඩුව තිබෙන්නේ. ඒ වගේම අපරාධකරුවන් රකින්න නීතිඥවරුන් පෙනී සිටින්නේ නැහැ. රටේ අපරාධ මර්දනය විය යුතුයි. නිවැරදි මිනිසුන්ට අගතියක් නොවෙන්නයි නීතිය තිබෙන්නේ. ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ ඝාතන රැසක් සිදුවී තිබෙනවා. ඝාතන රැල්ල මඩින්න ආණ්ඩුවේ කිසිදු වැඩපිළිවෙළක් නැහැ. ඉවත්වෙනු කියලා සියලුම පොලිස් ස්ථානවල දැන්වීමක් අලවන්න ආණ්ඩුව කටයුතු කළා. එ් වගේම අපරාධකරුවන්ට පොලිසියට භාර වෙන ලෙස දැනුම් දුන්නා. නමුත් එවැනි කිසිවෙකුත් තවමත් භාර වී නැහැ. සංවිධානාත්මක අපරාධ මඩින්න මෙවැනි වැඩවලින් බැහැ. ආණ්ඩුව කටයුතු කරන්නේ කටින් විතරයි.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න