ජනාධිපතිවරයා ගේ ඉදිරිපිටට ම පැමිණ නීතිඥවරයෙක් සහ ඔහු ගේ බිරිඳ ඝාතනය කර යා හැකි නම් එතනින් එහාට මේ රටේ පුරවැසියා ගේ ආරක්ෂාව පිළිබඳව තව කුමන කතා දැයි නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
ආණ්ඩුව නීතිඥවරු මෙන් ම වෛද්‍යවරුත් මර්දනය කරන්න හදනවා
''පහුගිය කාලසීමාව තුළ ඇමතිවරු කිව්වා දවසේ වෙඩිල්ල අපි නැවැත්තුවා කියලා. ඉතින් එදා ඇමතිවරුන්ට ඒක කියල නවත්තන්න පුළුවන් උණා නං ඒක පටන් ගන්න ඕනෙත් ඇමති මැදිහත්වෙලා. මේ අමතිවරු කියන කාරණයක් මේ ආණ්ඩුව කියන විදිහට ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ සහ ජනාධිපතිවරයා ජීවත් වෙන්නෙත් ඔය ප්‍රදේශයේ. පැලවත්තනේ. පහුගිය කාලේ අපි දැක්කා මෙවැනි ම සිදුවීමක්. අධිකරණය ඇතුළෙ ඝාතනයක් සිද්ධ වුණා. ඒ වගේම තමයි පහුගිය දිනෙක නීතිඥවරයෙක්ට පහර දුන්නා උසාවිය ගාව, පොලීසිය යි නීතිඥවරු අතරත් ප්‍රශ්නෙකුත් ඇතිවුණා. අපි දැක්කා සෞඛ්‍ය ඇමතිවරයා තර්ජනාත්මක ස්වරූපයෙන් වෛද්‍යවරුන්ට කියනවා ඔබ ඔබේ අයිතීන් පිළිබඳ කතා කරලා, අයිතින් පිළිබඳව සටන් කෙරුවොතින් ජනතාව ඔබ ගැන තීන්දු ගනී. ආණ්ඩුව නොකියා කියන්නේ නීතිඥවරු මර්දනය කරන්න උත්සාහ කරනවා වගේ වෛද්‍යවරුවත් මර්ධනය කරනවා කියන කාරණය.
ආණ්ඩුව දන්න එක ම භාෂාව; මර්දනය
එක පැත්තකින් ආණ්ඩුව ජනතාව උසිගන්වලා මේ ජනතාව ලව්වා මේ රටේ වෘත්තිකයන්ට පහර දෙන න්‍යායක් ක්‍රියාත්මක වන බවක් පේනවා. දැන් අපි දැක්කනේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා ගේ ඝාතනය සම්බන්ධයෙන් නඩු තීන්දුව ලැබුණාම ආණ්ඩුව සමහරු ඒ නඩු තීන්දුව විවේචනය කරා විතරක් නෙමෙයි. ඝාතකයන් ඝාතනය කිරීම සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය අනුව ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරන්න මිනිහෙක් වුණත් මැරීම ජනාධිපති සමාවක් ලබා දීමට සුදුසු බවක් බවට පත්කර තිබෙනවා. තවත් පැත්තකින් ජනතාව උසි ගන්නවා වෛද්‍යවරුන්ට නීතිඥවරුන්ට පහරදෙන්න. යාපනයේ පහුගිය දිනක සිදුවීමක් සිද්ධ වුණා, පොලිසියටත් අල්ලන් ගැහුවා, ගංජා හේන අල්ලන්න කියපු පොලිසි නිලධාරියාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගැහුවා.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මීට පෙර ඇඟ බැඳපු කෙනෙක්. මල් පැළයක් නෙවෙයි ගංජ පැළයක්ම තමයි. එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. මේ ආණ්ඩුව හිතනවා නම් මේ රටේ වෛද්‍යවරු. නීතිඥවරු අධිකරණ පද්ධතිය, ඒ වගේම මෙරටේ ව්‍යාපාරිකයෝ. දේශපාලන පක්ෂ තමන්ට ඕනි විදිහට මර්දනය කරලා බය කරලා ආණ්ඩුව අරගෙන යෑම තමයි තමන්ගේ න්‍යාය පත්‍රය කියලා ඉතින් ඒක සාර්ථක වෙන්නෙත් නෑ. වගේම ඉතින් ආණ්ඩුවට දැනෙන්නේ ආණ්ඩුව දන්නේ ඒ භාෂාව විතරක් කියලාත් අපි දන්නවා මොකද අසූ අට අසූ නමයේ ගොඩනැගිච්ච අයනේ මේ ආණ්ඩුවේ ඉන්නේ.''

