බහාලුම් 323 සිද්ධිය: වරාය ඇමැති විශේෂ කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි

බහාලුම් 323 සිද්ධිය: වරාය ඇමැති විශේෂ කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි

කොළඹ වරායෙන් බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ පුවත සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් (Select Committee), වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ඉල්ලා අස්වී තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කාරක සභාව පසුගිය පෙබරවාරි 11 වැනිදා තෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් විය.

වරාය විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින්, තමන් යටතේ පවතින අමාත්‍යාංශයකට හෝ ආයතනයකට එල්ල වී ඇති චෝදනාවක් විමර්ශනය කිරීම සඳහා පත් කළ කාරක සභාවක සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම 'බැඳියාවන් අතර ගැටුමකට' (Conflict of Interest) හේතු විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද මෙහි ඇති අසාධාරණත්වය දිගින් දිගටම පෙන්වා දුන් අතර, විමර්ශනයේ ස්වාධීනත්වය සහ විනිවිදභාවය සුරැකීම සඳහා තමන් ඉල්ලා අස්වන බව අමාත්‍යවරයා දන්වා තිබේ.

සාක්ෂි විමසීම ආරම්භ වෙයි
මෙම රැස්වීමේදී ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් කාරක සභාව හමුවට කැඳවා තිබුණි. එහිදී අදාළ බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සහ ඊට සම්බන්ධ රේගු වාර්තා පිළිබඳව දීර්ඝ ලෙස සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.

අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, සුනිල් වටගල සහ අර්කම් ඉල්යාස්, දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, ඩී. වී. චානක, මුජිබුර් රහුමාන්, වෛද්‍ය නජිත් ඉන්දික සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මන්ත්‍රීවරුන් සහභාගී වූහ

ඇමැති අනුර කරුණාතිලක වෙනුවට කාරක සභාව සඳහා නව සාමාජිකයෙකු ඉදිරියේදී පත් කරන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න