ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්වූ ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් ඇතුලු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (10)වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂ තනතුරට පත් ෂැනන් කව්ලින්ට සුබ පැතුම් එක් කළ අතර ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය අගය කළාය.
ADB බැංකුව විසින් ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය
ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන වැඩසටහන් සඳහා ADB බැංකුව විසින් ලබාදෙනු ලබන අඛණ්ඩ සහයෝගය ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසු අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහයෝගය පිළිබඳව මෙන්ම විශේෂයෙන් පසුගිය සමයේ අප රට මුහුණ දුන් දිට්වා සුළි කුණාටුව අවස්ථාවේ ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් සහයෝගය පැසසුමට ලක් කළා ය.
රට නැවත ගොඩනැගීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළුව සුළි කුණාටු තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීමට සූදානම් බව ADB නියෝජියෝ අවධාරණය කළ අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බව ද සඳහන් කළහ.
මෙම අවස්ථාවට SARDMs හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Sona Shrestha, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Cholpon Mambetova, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර, මුදල් අමාත්‍යාංශයේ ආසියානු සංවර්ධන බැංකු අංශයේ අධ්‍යක්ෂ රංජිත් ගුරුසිංහ යන අය සහභාගී වූහ.


