වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කළ ප්‍රභාත් මලවිගේ මහතා පෙත්සම් විභාගය අවසන් වන තෙක් එම අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්‍යක්ෂ (මෙහෙයුම්) තනතුරේ පිහිටුවා තිබෙන බව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පත් කිරීම සිදු කරන බවත් එම දැනුම්දීමේ සඳහන් වෙයි.
ඒ අනුව පෙත්සම්කරුට මේ මස 10 වනදා සිට සේවයට වාර්තා කිරීමට හැකියාව පවතින බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ විය.
තමන්ව වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කොට ඊට ඝනක හේමචන්ද්‍ර මහතා පත්කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රභාත් මළවිගේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා මෙම දැනුම් දීම සිදු කළේය.
මෙම එකඟතාවය පිළිබඳව කොන්දේසි ඇතුලත් මෝසමක් ලබන සඳුදා අධිකරණය හමුවේ ගොනුකරන බවත් ඔහු සඳහන් කර සිටියේය.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව සිය සේවා දායකයා හිරිහැරයන්ට සහ පලිගැනීම් වලට භාජනය වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ පෙත්සම්කරුගේ රාජකාරී කටයුතුවලට අවහිර නොකරන බවට වග උත්තරකරුවන් විසින් දැනටමත් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී ඇති බවයි.
එම අවස්ථාවේදී වග උත්තරකාර වත්මන් කළමනාකර අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව ඔහුගේ කටයුතුවලට අවහිර කිරීම් හෝ හිරිහැර කිරීම් නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දුන් අතර එය අධිකරණ විසින් සටහන් කරගන්නා ලදී.
මෙම කරුණ නිරාකරණය කර ගැනීම සඳහා සියලුම නීතිඥවරු අධිකරණයට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් තමන් ස්තූතිවන්ත වන බවත් සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව මෙම පෙත්සම් විභාගය ලබන 17 වනදා පැවැත්වීමටද අධිකරණය දින නියම කළේය.

