සජිත් ගේ දේශපාලන සතිය - මගුල් ගෙදරක තවත් මගුලක්

සජිත් ගේ දේශපාලන සතිය - මගුල් ගෙදරක තවත් මගුලක්

ගෙවුණු සතියේ දේශපාලනය උණුසුම් වුණේ, සජිත් සහ රනිල් අතර ඇයි හොඳැයියත්, 78 වැනි නිදහස් දින සැමරුමේ ජනාධිපති අනුර කරපු ජාතිය ඇමතීමත් නිසා ය.

‍සජිත් සහ රනිල් අතර රහස් සාකච්ජාවක්

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නායකයකු වන සමන් රත්නප්‍රිය ගේ පුත්‍රයා ගේ විවාහ මංගල්‍ය මේ සතිය ආරම්භයේ දී ම පැවැත්වුණේ, කොළඹ තරු හෝටලයක දී ය. ඒ මංගල්‍යයට වඩා වැඩි අවධානයක් යොමුව තිබුණේ, ඒ මගුල අස්සේ සිද්ධ වෙච්ච සජිත් - රනිල් හමුවට ය. ගංගාරාමයේ නවම් පෙරහැර මංගල්‍යයට සහභාගීවී පැමිණි සජිත්, ඉඩකඩ තිබූ මේසයක වාඩි වූ සැණින්, මංගල උත්සවයේ පක්ෂ නායකයින්ට වෙන්කර තිබූ VIP මේසයට එන ලෙස ආරාධනා කර තිබුණේ ද රනිල් ය. ඒ වනවිටත් මේසයේ අසුන්ගෙන සිටි, දිගම්බරම් සහ මනෝ ගනේෂන් ද සජිත් සහ රනිල්ට කියා තිබුණේ අද මාර නැකැත් දවසක් වගේ, මේක අද මගුල් සක්වලක් වෙන්නයි යන්නේ කියා ය.

sajith1

දේශපාලන සහ අතීත කතා සිහිපත් කරමින් කතාබස්කර කරමින් සිටි රනිල් සහ සජිත් එක්වර ම හෝටලයේ තවත් තැනකට ගොස් විනාඩි 20 පමණ රහස් සාකච්ජාවක් ද පවත්වා ඇති බව ඇසින් දුටු කිහිප දෙනෙක් පවසා තිබුණේ ය. ඒ කතාබහේ සාරාංශය ගැන කිසිම කරුණක් කිසිවෙකුත් නොදන්නේ රනිල් සහ සජිත් අතර පමණක් ඒ සකච්ජාව සිදුව තිබූ නිසා ය.

ආණ්ඩුවේ කට වහපු සජිත් ගේ පහරවල් දෙක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට රිදෙන්න ම පාරවල් දෙකක් ගැසුවේ කල් යල් බලමින් සිටීමෙන් පසුව ය. ඉන් එකක් වූණේ ජාතික කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ස්ථාපිත කළ ස්වාධීන කාන්තා කොමිසමටත් රජයේ අත පෙවීම් සිදු කරන බවට වූ බරපතළ චෝදනාව ය. එම කොමිෂන් සභාව පිහිටුවා මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ එහි සභාපතිනිය වූ වෛද්‍ය රමනි ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව කියමින් සජිත් එල්ල කළ චෝදනාව අස්සේ සජිත් ඇසුවේ “ රටේ අගමැතිවරියත් කාන්තාවක්, මන්ත්‍රීවරියන් 26ක් පත්වුණා කියලා ලොකු, ලොකු කතා කිව්වට කාන්තා කොමිසම නමට විතරයි. ඒකටත් රජය අතදාන්න ගිහින් සභාපතිනිය ගෙදර ගිහිල්ලා, කාන්තාවෝ එක මිටට කියලා බලය අරන් කාන්තාවෝ මිටට තියලා මේ ආණ්ඩුව කළේ දොරමුල්ලට දාපු එකයි,” යනුවෙනි.

sajith2

ඊළගට සජිත් ආණ්ඩුවට රිදෙන්නම දුන්නේ මාලිමාවේ මන්ත්‍රීවරයකු AKD Brand එක බව කියපු අදහසට ය.

“අපි දැක්කා මෙතන කියනවා AKD කියන්නේ තෙතමනය සහිත System Change කරන Brand කියලා කියනවා, ඔය තෙතමනය තියෙනවා කියන AKD බ්‍රෑන්ඩ් එක ක්‍රියාත්මක කරන System Change එක කියන්නේ බුදුදහමට නිග්‍රහ කරන එකද?”

සජිත් කියපු ඒ කතාවටනම් ආණ්ඩුවේ 159ට ම කට උත්තර නැතිවූ බව පාර්ලිමේන්තු ලොබියේත්, කැන්ටිමේත් ගොඩක් අය කතා වූ බවක් අසන්නට ලැබුණේ ය.

අප්‍රිකානු හිතෝපදේශය ජනපති අනුර දැක්කේ කවදා ද? - මන්ත්‍රී ප්‍රසාද්ට ආපු ප්‍රශ්ණය

පෙබරවාරි 4 නිදහස් උළෙලේ දී ජාතිය අමතමින් ජනාධිපති අනුර කුමාර අවධාරණය කළේ: ''ජනාධිපතිවරයා ලෙස මමත්, කැබිනට් මණ්ඩලයත්, විපක්ෂ නායකවරයාත්, රාජ්‍ය සේවකයාත්, මහා සංඝරත්නය ඇතුළු ආගමික සංස්ථාවන්වල සියලු දෙනාත් තිර අධිෂ්ඨානයකින් රට ගොඩනගමු,'' කියා ය.

ජනාධිපතිවරයා කතාව අවසන් කළේ, අප්‍රිකානු හිතෝපදේශයක් ගැනත් සිහිපත් කරමින් ය.

''ඔබට වේගයෙන් යන්න අවශ්‍යනම් තනියම යන්න, වැඩිදුරක් යන්න අවශ්‍යනම් එකට යන්න, අපට අවශ්‍යව තිබෙන්නේ සෑම කේෂ්ත්‍රයකම වැඩිදුරක් යන්න, ඒ ගමන ජයගත හැකි වන්නේ තනිව නෙවෙයි.''

මේක අහන් හිටපු ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා නිදහස් උත්සවේ ඉවරවුණාට පස්සේ චිත්‍රාල් සහ චමින්ද්‍රානි මන්ත්‍රීවරු දෙන්නා සමග මාර කතාවක් කියා තිබුණේ ය.

prasad

“ජනාධිපතිතුමාට රට ගොඩදාන්න එකට යන්න ඕන වෙන්නේ කෙළ උනාට පස්සෙද දන්නේ නෑ…, මතකද අපේ ලොක්ක දිට්වා ආපදාව ආපු වෙලාවේ පාර්ලිමේන්තුවේ දී කිව්වා, ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න විපක්ෂයේ අපි සුදානම් ආණ්ඩුවත් එක්ක එකතුවෙලා, රටට අවශ්‍ය ආධාර ටික ලබාගන්න කියලා, IMF එකට කතා කරන්නත් විපක්ෂයේ අපිත් සහයෝගය දෙන්නම් කියලා. එතකොට අනුර මහත්තයා කිව්වේ අනේ ප්ලීස් ඔයා පැත්තකට වෙන්න උදව් ඕන නෑ කියලා, මම හිතන්නේ ඒ වෙනකොට ජනාධිපතිතුමා ඔය අප්‍රිකානු හිතෝපදේශය දැකල තිබුණේ නැතුව ඇති.”

ඒක අහපු චමින්ද්‍රාණි මන්ත්‍රීවරිය තමන්ට ආ හිනාව නතර කර ගත්තේ අත්දෙකෙන්ම කට වසා ගෙන ය.

සජිත් සහ හර්ෂ SMEs රැකගන්න යළිත් සටනක් අරඹයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ගේ ගැටලු ගැන මේ සතියේ පුළුල් සාකච්ජාවක් සිදුකර තිබුණේ ය.

harsha1

සජිත් මෙහි දී අවධාරණය කර තිබුණේ, රටේ ණය ගෙවීමට රජයට සහන කාලයක් ලැබුණා සේ, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගේ ණය ගෙවීමටත් රජයෙන් සහන කාලයක් ලබා දිය යුතු බව ය.

“ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් ලක්ෂ 11ක් විතර ඉන්නවා, ඒ අය නිසා ලක්ෂ 45ක් විතර රැකියා උත්පාදනය වෙලත් තියෙනවා, මේ කේෂ්ත්‍රය දළ දේශීය නිෂ්පාදනයට ලබාදෙන 52% දායකත්වය නතර උනොත් අපේ ආර්ථිකයට ඔළුව උස්සන්න අමාරුයි වෙයි. මේ අයගේ ව්‍යාපාර කඩයුතු අඩපණ වුණේ ඒ අයගේ වරදක් නිසා නෙමෙයි, 2022 දත්ත අනුව 263, 000ක් කර්මාන්ත වැහිලා, මේ තියෙන ටිකවත් රැකගන්න දැන්වත් අපි මේ අයට උදව් කරන්න ඕන. මේ අය අත්හැරියොත් ඒක රටේ ආර්ථිකයට බරපතළ තත්ත්වයක් උදාකරාවි, ඒක ඊට පස්සේ සමාජීය ප්‍රශ්ණයක් වේවි”

සජිත් එහෙම කියද්දී ඒ සාකච්ජාවේ හිටපු නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහටත් සජිත් කියපු ඒ කතාව අනුමත කරන්නට ම සිදුවිය.

2023 නේ ආසියානු සංවර්ධන බැංකුවට කතා කරලා සජිත්ලා අරන් දීපු ඩොලර් මිලියන 100යේ සහනයෙන් පස්සේ මේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටලුවට කිසිම විසඳුමක් අරන් දෙන්න කිසිම ආණ්ඩුවක් කටයුතු කර නෑ කියන එක තමයි මේ කේෂ්ත්‍රයේ නිරතවෙලා ඉන්න පිරිසගෙන් සැදුම්ලත් ක්ෂ්ද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ටානියා අබේසුන්දරලා, සුසන්ත ලියනාරච්චිලා, SN රාගවන්ලා හැම වෙලාවක ම කියන්නේ කියලත් එතන හිටපු කිහිප දෙනෙකු ම කියා තිබුණි.

සජිත් නැති විපක්ෂයක් නෑ - ජී.එල්. ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් පිරිසක් සජිත් හමුවෙයි

රාජ්‍යයේ ප්‍රධාන තනතුරු මාලිමාකරණයට ලක්කිරීමට එරෙහිව විපක්ෂයෙන් පොදු හඬක් ගොඩනැගීමේ අරමුණික් මහාචාර්ය ජී.එල්. පීරිස්, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල ප්‍රසන්න රණතුංග ඇතුළු කණ්ඩායමක් සඳුදා පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව හමු වී තිබුණේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

saji

නීතිපතිවරයාට සිදුකරණ බලපෑම, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ගේ වැඩතහනම් කිරීම, විගණකාධිපතිධුර අර්බුදය ආදී කරුණු කිහිපයක් ගැන මෙන්ම රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට පැලවත්තෙන් සිදුකරණ මැදිහත්වීම් ගැනත් මෙහිදී සාකච්ජාවී තිබුණේය.

පුරා පැයක් පමණ සිදුවූ මෙම සාකච්ජාවේ දී ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව සහ තොරතුරු දැනගැනීමේ පනත උල්ලංඝණය කරමින් රජයේ තොරතුරු ලබා නොදීම ගැනත් පක්ෂ නායකයින් ගේ අවධානය යොමුව තිබුණි.

සාකච්ජාවෙන් පසු එළියට පැමිණි ජී.එල්, සහ උදය ගම්මන්පිල මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ පොදු වේදිකාවක් සඳහා විපක්ෂ නායකවරයා සුභවාදී ප්‍රවේශයක සිටි බවය.

“පහරකෑ ධීවරයින් ගැන වහාම හොයන්න” සජිත්ගෙන් කෝල් එකක්.

වෙන්නප්පුවෙන් මුහුදුගිය ධීවර යාත්‍රා දෙකක සිටි ධීවරයින් 12 දෙනකුට එල්ල වූ ප්‍රහාරය සැලවීමෙන් පසු සජිත් වහාම දුරකතනයෙන් කතා කර තිබුණේ, සමගි ජන බලවේගයේ ධීවර සංගමයේ ලේකම් වගේම නාත්තණ්ඩිය ආසන සංවිධායක නිරූක ප්‍රනාන්දුට ය.

sajith4

“නිරූක අර ධීවරයන් කට්ටියකට පහරදීමක් වෙලා තියෙනවා නේද? ඒ අය තුඩුවාවේ කට්ටිය කියලා ආරංචියි, ඔයා ගේ ආසනේ නේද? ඉක්මනින් ඒ අය හමුවෙලා මේ ප්‍රශ්ණය ගැන හොයලා බලන්න.”

ඒ අනුව ප්‍රහාරයට ලක්වූ ධීවරයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් හමුවූ නිරූක ඔවුන්ගේ ගැටලුත් අරන් සිකුරාදා මාධ්‍ය හමුවක් කැඳවූයේ මෙහි පරපතළ තත්ත්වය රටටම කියන්නටය.

“ධීවර ඇමති කියනවා මේ ප්‍රහාරය ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සිද්ධ කළා කියලා, මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය තියනවා ඉන්දීය ආරක්ෂක අංශ සම්බන්ධ නෑ කියලා, මේක බරපතළ තත්ත්වයක්. කවුද මේක කළේ, රජය මේක වහාම හොයන්න. ධීවරයින් අද මුහුදු යන්න බයයි කියනවා. මේක රටේ ආර්ථිකයට, මත්ස්‍ය වෙළඳ පොළට බලපානවා. මේ පහරදුන්නේ මුහුදු කොල්ලකරුවෝ ද?, නැත්නම් ත්‍රස්තවාදී කණ්ඩායමක් ද? අපේ ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකිමක්.”

මම | බංගලා හංදියේ ලියුම්කරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න