ගල් අඟුරු අර්බුදය සම්බන්ධයෙන් ටිල්වින් සිල්වා දැක්වූ අදහස් වැරැදියි - පුබුදු ජයගොඩ

ගල් අඟුරු අර්බුදය සම්බන්ධයෙන් ටිල්වින් සිල්වා දැක්වූ අදහස් වැරැදියි - පුබුදු ජයගොඩ

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා රාජ්‍ය රූපවාහිනී නාලිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී ගල් අඟුරු අර්බුදය සම්බන්ධයෙන් දැක්වූ අදහස්වල බරපතළ වැරදි ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

ඔහු මේ අදහස් පළ කළේ අද (05) පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ...

ප්‍රධාන ලේකම්වරයා යාවත්කාලීන නැහැ

''ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා රාජ්‍ය රූපවාහිනී නාලිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී ගල් අඟුරු අර්බුදය සම්බන්ධයෙන් දැක්වූ අදහස්වල බරපතළ වැරදි තිබෙනවා. මේ සමහර අසත්‍ය කරුණු මීට සතියකට දෙකකට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පවසා, ඒවා බොරු බව තහවුරු වූ පසුව අතහැර ඇති කරුණු. විදුලිබල ඇමතිවරයා මේ සම්බන්ධ අලුත් කරුණු ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාට ලබා දී නැති නිසා ප්‍රධාන ලේකම්වරයා යාවත්කල් නොවීමක් පෙන්නුම් කරනවා.

දෙදෙනා කියන කරුණු එකිනෙකට පරස්පරයි

ඔහු පැවසුවා මීට පෙර ටෙන්ඩර් නොකැඳවා දේශපාලඥයෙකු ගේ සමාගමකින් අධික මිලට ගල් අඟුරු මිලදී අරන් තිබෙනවා කියලා. එය වැරදියි. 2008 දී ලක්විජය බලාගාරය ආරම්භ කිරීමෙන් පසුව අද දක්වා සෑම වසරක ම ටෙන්ඩර් කැඳවා අවම මිල ඉදිරිපත් කළ සැපයුම්කරුවාට ටෙන්ඩරය ලබාදී තිබෙනවා. 2023 දී ටෙන්ඩර් නොකැඳවූ බව ප්‍රධාන ලේකම්වරයා එම සංවාදයේ දී කිව්වා. විදුලි ඇමතිත් මුලින් ඔහොම කියලා, අපි ටෙන්ඩර් දැන්වීම් පෙන්වූවාට පසුව එය පැවසීම නතර කළා. දැන් ඇමති කියන්නේ තමන් ටෙන්ඩර් පිරිවිතර වෙනස් නොකළ අතර 2023 ටෙන්ඩර් පිරිවිතර එලෙස ම පවත්වාගෙන ආ බව. එම කරුණත් වැරදියි. 2023 දී එවැනි පිරිවිතර වෙනස් කිරීමක් දකින්නට නැහැ. නමුත් ටිල්වින් සිල්වා කියන ආකාරයට 2023 ටෙන්ඩර් කැඳවීමක් සිදු නොවුණා නම්, කුමාර ජයකොඩි කියන ආකාරයේ ටෙන්ඩර් පිරිවිතර 2023 දී ප්‍රකාශයට පත්වුණේ කොහොමද? මේ දෙදෙනා කියන කරුණු එකිනෙකට පරස්පරයි. ප්‍රධාන ලේකම්වරයා කරුණු අතින් යාවත්කල් වෙලා නෑ.

ටෙන්ඩර් නොකැඳවූ බවට කළ ප්‍රකාශය සත්‍යයෙන් තොරයි

2023 දී ටෙන්ඩර් කැඳවූවා. ටෙන්ඩරය ලැබුණේ කොරල් එනර්ජි කියන සමාගමට. ඔවුන්ට නිසි කාලයට සැපයුම් කරන්න බැරිවූ නිසා බ්ලැක් සෑන්ඩ් නම් සමාගමකට සැපයුම භාර දුන්නා. 2024 දී ටෙන්ඩර් නොකැඳවූ බවට කළ ප්‍රකාශයත් වැරදියි. ටෙන්ඩර් කැඳවීමේ දී අඩුම මිළගණන් ඉදිරිපත් කළ සමාගමට වඩා අඩු මිලක් පොටෙන්ෂියා නම් සමාගමක් ඉදිරිපත් කර තිබුණා. ඉන් පසුව තාක්ෂණික ඇගයුම් කමිටුව ප්‍රසම්පාදන කමිටුවේත්, ප්‍රසම්පාදන කමිටුව කැබිනට් මණ්ඩලයේත්, කැබිනට් මණ්ඩලය නීතිපතිවරයා ගේත් අනුමැතිය මත මිල අඩු සමාගමෙන් ගල් අඟුරු මිලදී ගෙන තිබුණා. එම ක්‍රියාවලිය ගැන යම් සැකයක් තිබේනම් විමර්ශනයක් සිදුකර, නීතිමය පියවර ගත හැකියි. ටෙන්ඩර් නොකැඳවූ බවට කළ ප්‍රකාශය සත්‍යයෙන් තොරයි.

ඇමතිවරයා ඉවත් කිරීමේ වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාට

ඇමතිවරයා අදාළ නිතිමය පිළිවෙළට ටෙන්ඩර් කැඳවා ඇති බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු නැති බව ජවිපෙ ලේකම්වරයා කියනවා. මේ ගැන ප්‍රශ්න රාශියක් අප මුල පටන් කිව්වා. ටෙන්ඩර් කැඳවීම මාස 4ක් ප්‍රමාද කළා. ටෙන්ඩර් පිරිවිතර වෙනස් කළා. ටෙන්ඩර් කාලසීමාව අඩකින් අඩු කළා. ඒ සඳහා හේතුව ලෙස හදිසියක් ගැන කියා ටෙන්ඩරය ප්‍රදානය කිරීමේ දී කිසිදු හදිසියක් නැතිව සති හයක් ප්‍රමාද කළා. බාල ගල් අඟුරු ගෙන්වූ විට සමාගම ආරක්ෂා කරන්න රසායනාගාර වාර්තා සැඟවූවා. නැව් දෙකක් ප්‍රමිතියෙන් තොර වූවිට ටෙන්ඩරය අවලංගු වන බව ටෙන්ඩර් ගිවිසුමේ තිබියදීත් එම ඇණවුම පවත්වාගෙන යනවා. ඒ අතර සමාගමට වාසි සැලසෙන සේ, රජය ගිවිසුම උල්ලංඝනය කරමින් හදිසි මිලදී ගැනීම්වලට අනුමැතිය ලබාදී තිබෙනවා. මුළු ක්‍රියාවලියම සැක සහිතයි. තමන් වංචාවක් කළ බව පිළිගන්නේ නැති නම් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු නෑ. නමුත් එවැනි වංචාවක් සිදුව ඇත්දැයි ස්වාධීන විමර්ශනයක් කර, වරදක් සිදුව තිබේනම් ඇමතිවරයා ඉවත් කිරීමේ වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට. මෙය ආණ්ඩුවේ පාරිශුද්ධභාවය සහ පාරදෘශ්‍යභාවය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක්.''

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න