ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ගේ මැදිහත්වීමෙන් සහ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවූ “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ” සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙත ප්‍රථම මල් පූජාව සිදු කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් අද (04) පස්වරුවේ සිදු විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට්හි අරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික දෙව්නි මෝරි පුරාවිද්‍යාත්මක ස්ථානයේ 60 දශකයේ දී බෞද්ධ ආරාම සංකීර්ණයක ස්තූපයක් ආශ්‍රිතව සිදු කළ පුරාවිද්‍යාත්මක කැණීමකින් මෙම ධාතුන් වහන්සේ සොයා සොයා ගෙන ඇත. මෙම ස්ථානයෙන් ධාතු කරඬු දෙකක් හමු වූ අතර, ඉන් එක් ධාතු කරඬුවක තිබි මෙම සර්වඥ ධාතුන් වහන්සේ හමු වී තිබේ. එහි තිබී හමු වූ මංජුසාවේ සටහන් ‘දස බලධාරී බුදුන් වහන්සේගේ ධාතු නිධන් කළ ස්ථානය’ යන වැකිය මෙම ධාතුන් වහන්සේ ගේ පූජනීයත්වය තහවුරු කරන ප්‍රබලතම සාක්ෂිය වේ.

ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ මෙම සර්වඥධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති අතර, මෙම ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව ප්‍රථමවරට ශ්‍රී ලාංකික ජනතාවට උදා වී තිබේ.

අද (04) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීම සිදු වූ අතර එහි විශේෂ පීඨිකාවක තැන්පත් කර ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව විශේෂ රථ පෙරහැරකින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීම සිදු විය.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ විහාරස්ථානයේ විශේෂ පිඨිකාවක තැන්පත් කරන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මහජනතාවගේ වන්දනාමාන සඳහා නිරාවරණය කරමින් ප්‍රථම මල් පූජාව සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ඒ අනුව, හෙට (05) උදෑසන සිට පෙබරවාරි 11 වන දා දක්වා දින හතක කාලයක් පැය 24 පුරාම ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී මෙම සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇත.

ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කෙරෙන මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් මෙහි දී සිදු කෙරිණි.

හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේ අනුරුව සහිත විශේෂ සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී.

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරට වන්දනාවට අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනීම ද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ යන අය අතර මෙහි දී සිදු විය.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ මහලේකම් Shartse Khensur Rinpoche Jangchup Choeden හිමිපාණෝ ද, ඉන්දියාවේ සිට වැඩම කළ ගෞරවනීය මහා සංඝරත්නය ද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අය ඇතුළු මැති ඇමතිවරු, ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ ඇතුළු ඉන්දීය රජයේ විශේෂ නියෝජිතයෝ ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රෝෂන් ගමගේ, කපිල ජනක බණ්ඩාර යන අය සහ අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහූ ද, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

india dathu

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න