මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු දිවි සැරිය නිම කරයි

මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු දිවි සැරිය නිම කරයි

පෙර අපර දෙ දිග නාට්‍ය කලා විශාරදයකු වූ මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු ඊයේ (2026-01-31) රාත්‍රියේ සිය දිවි ගමන අවසන් කර ඇත.

හෙතෙම විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා අධ්‍යාපනය ලැබුවේ කුරුණෑගල ක්‍රිස්තුරාජ විද්‍යාලයෙනි. ඉක්බිති පේරාදෙණිය සරසවියට පිවිසි මයිකල් ප්‍රනාන්දු එහි දී: ආර්ථික විද්‍යාව, ඉතිහාසය සහ සිංහල හදාරා සිංහල විශේෂවේදී උපාධියක් ලබාගත්තේ ය. ඉනිකබිති එම විශ්ව විද්‍යාලයේම සිංහල අංශයේ සහාය කථිකාචාර්ය වරයකු ලෙස පත්වීමක් ලද හෙතෙම ජර්මනියේ බර්ලින් නුවර හුම්බෝල්ඩ්ට් සරසවියෙන් පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබී ය.

ජර්මනිය මුද්‍රණය කළ මයිකල් ගේ කෘතිය

මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු ගේ ආචාර්ය උපාධි නිබන්ධනය වූයේ දුරස්තකරන රීතිය රංගනයට හඳුන්වා දුන් විශ්ව කීර්තිධර මහා නාට්‍ය වේදී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ නිර්මාණ ලාංකීය වේදිකාවට බල පෑ අයුරු විමසමින් කළ The Sinhala stage and Bertolt Brecht කෘතිය යි. 1982 දී වසරේ දී ජර්මනියේ බ්‍රෙෂ්ට් කේන්ද්‍රය එය මුද්‍රණ ද්වාරයෙන් එළි දැක්වූයේ ය. පෙරළා ලංකාවට පැමිණ පේරාදෙණි සරසවියේ ලලිත කලා පාඨමාලාව භාර ගත් මහාචාර්ය ප්‍රනාන්දු, තමන් පුරෝගාමී වී පිහිටවූ ලලිත කලා අංශයේ ආරම්භක පීඨාධිපති විය.

විප්ලවය සමග ඒකාබද්ධව

ප්‍රංශ නාට්‍යවේදී ඇනටෝල් ෆ්රාන්ස් ගේ The Tragedy of a man who married a dumb wife ගොළු කත ගේ සැමියා නමින් මයිකල් ප්‍රනාන්දු විසින් රංග ගත කැරුණු නාට්‍යයේ ප්‍රධාන නළුවා වූ හෙතෙම පසු දින ම වේදිකාව හැර ගියේ 1971 කැරැල්ලට එක් වීම සඳහා ය. ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ධූරය මෙන්ම ව්‍යවස්ථා සම්පාදක හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ තිබු ජාතික ඒකාබද්ධතා වැඩසටහන් ඒකකයේ ප්‍රධානිත්වය ද ඉසිලූ මයිකල් ප්‍රනාන්දු ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ විශේෂඥ මණ්ඩල සාමාජිකයෙක් ලෙස ද කටයුතු කළේ ය. වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වයේ ද නියැළි මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු සිංහල, පාලි, ඉංග්‍රීසි මෙන් ම ජර්මන් භාෂා නිපුණයකු ද විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න