මාලිමා ආණ්ඩුව තුළ කෝටි තිස්දාහකට අධික බරපතළ ගල් අඟුරු වංචාවක් - මහේෂ් සේනානායක

මාලිමා ආණ්ඩුව තුළ කෝටි තිස්දාහකට අධික බරපතළ ගල් අඟුරු වංචාවක් - මහේෂ් සේනානායක

රට තුළ මේ වනවිට කෝටි තිස්දාහකට අධික බරපතළ ගල් අඟුරු වංචාවක් සිදුවෙමින් පවතින බැවින් මෙම වංචාව හරහා රට විශාල අගාධයකට ඇද වැටෙන බවත්,. ආණ්ඩුව මෙම වංචාව සුළු සිද්ධියක් ලෙස ගෙන ඩොලර් මිලියන 2.1 ක වන්දියක් ලබාගෙන මෙම වංචාව හේතුවෙන් සිදුවුණ පාඩුව පියවා ගන්නා බව ප්‍රකාශ කර මෙම මහා පරිමාණ වංචාවෙන් පලා යෑමට උත්සහ කරන්නේ යැයි සමගි ජන බලවේගය තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (30) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහේෂ් සේනානායක...

ගුණාත්මක භාවයත් නෑ; පළපුරුද්දත් නෑ

''ලංකාව තුළ සිදුවන දැවැන්ත වංචාවක් ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් ඉතාමත් සූක්ෂමව ආරක්ෂා කරමින් සිටිනවා. රට තුළ මේ වනවිට කෝටි තිස්දාහකට අධික බරපතළ ගල් අඟුරු වංචාවක් සිදුවෙනවා. මෙම වංචාව හරහා රට විශාල අගාධයකට ඇද වැටෙනවා. ආණ්ඩුව මෙම වංචාව සුළු සිද්ධියක් ලෙස ගෙන ඩොලර් මිලියන 2.1 ක වන්දියක් ලබාගෙන මෙම වංචාව හරහා සිදුවුණ පාඩුව පියවා ගන්නා බව ප්‍රකාශ කර මෙම මහා පරිමාණ වංචාවෙන් පලා යන්න උත්සහ කරනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ගල් අඟුරු සපයන ආයතනය ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ලියාපදිංචි කර ගත හැකි පරිසරයක් නිර්මාණය කිරිමට බලශක්ති ඇමැතිවරයා කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ගල් අඟුරු සපයනවා නම් අවම වශයෙන් ටොන් මිලියනයක සැපයුම් අද්දැකිම් තිබිය යුතුයි. ඒ වගේම ඔවුන් ලබාදෙන ගල් අඟුරුවල ගුණාත්මක භාවය කිලෝ කැලරි 5900 ට වඩා ඉහළ අගයක තිබිය යුතුයි. ශ්‍රී ලංකාවට ගල් අඟුරු සැපයිම සඳහා ටොන් මිලියනයක සැපයුම් අද්දැකිම් තිබිය යුතුයි යන කොන්දේසිය වෙනස් කර ලක්ෂයක සැපයුම් අද්දැකීම් තිබිය යුතුයි යන්න සඳහන් කර කැබිනට් ප්‍රතිකාව වෙනස් කර තිබෙනවා. ශ්‍රි ලංකාවට ගල් අඟුරු ගෙන්වීමේ දී අවම ගාස්තුවක් ඉදිරිපත් කිරීම නිසා මෙම සමාගමට ගල් අඟුරු ටෙන්ඩරය ලබාදී තිබෙනවා. අඩුමිලට ගල් අඟුරු සපයන බව ප්‍රකාශ කළත් ඒවා ප්‍රමිතියෙන් යුක්ත ගල්අඟුරු ද යන්න තහවුරු කරන්නේ කෙසේද?

ඉන්දියාවේ දී කළ පරීක්ෂණවලින් අසමත්

කෙසේ නමුත් ලක්විජය බලාගාරයට ගෙන්වන්නේ දකුණු අප්‍රිකාවේ සහතික ලත් ගල් අඟුරු. නමුත් මෙම සමාගම ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙන්නේ ඉන්දුනිසියානු ගල්අඟුරු බව සනාථ වී තිබෙනවා. එම ගල් අඟුරුවල ප්‍රමිතිය අඩු වු නිසා ඒ බව හෙළි වී තිබෙනවා. මෙම නැව් පැමිණි රටවල් සොයා ගැනීමට ආණ්ඩුවට ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. ආණ්ඩුව පිරිසිදුයි නම් ඒ බව රටට හෙළි කරන්න හැකියාව තිබෙනවා. ආණ්ඩුව විසින් ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රධානය කළ සමාගම මීට පෙර ගල් අගුරු සැපයුම් සිදුකරලා නැහැ. එම සමාගම සතොසට මෙට්ට්‍රික්ටොන් තිස් දහසක සහල් ලබාදීමට ලන්සු තියලා තිබෙනවා. එවැනි ආයතනයකට තමයි ආණ්ඩුව ගල් ඇඟුරු ගෙන්වීම සඳහා සැප්තැම්බර් මාසයේ ටෙන්ඩරය ප්‍රදානය කර තිබෙන්නේ. නමුත් පළමු ඇණවුම සිදුකරන්නේ නොවැම්බර් මාසයේ. ඒ අනුව ගල් අඟුරු ගෙන්විම මාස දෙකක කාලයක් ප්‍රමාද කර තිබෙනවා. වගකිම් සහිත රජයක් නම් අප්‍රේල් මාසයට පෙර හැකි තරම් ගල් අඟුරු ප්‍රමාණයක් ගෙන්වා ගන්න කටයුතු කළ යුතුව තිබුණා. ප්‍රමිතියෙන් යුක්ත ගල් අඟුරු ශ්‍රී ලංකාවට සපයන බව පවසා අදාළ සමාගම ටෙන්ඩරය ලබාගෙන තිබෙනවා. නමුත් ඉන්දුනිසියාවෙන් ලක්විජය බලාගාරයට නොගැළපෙන, ප්‍රමිතියෙන් අවම, පරිසරයට හිත නොකරන ගල් අඟුරු සපයන්න අදාළ සමාගම කටයුතු කර තිබෙනවා. මෙලෙස ඉන්දුනිසියාවෙන් ගෙන ආ ගල් අඟුරු රට තුළ සිදුකළ පරික්ෂණ 4 කින් අසමත් වී තිබෙනවා. එම ගල් අඟුරු කිලෝ කැලරි 5900 ට වඩා අවමයි. ඉන්දියාවේ දී සිදුකළ පරික්ෂණවලින් ද මෙම ගල් අඟුරු ප්‍රමිතියෙන් අඩු බවට සනාථ වෙනවා. ප්‍රමිතියෙන් යුක්ත ගල් අගුරුවලින් සියයට 16 ක අළු ප්‍රමාණයක් නිෂ්පාදනය විය යුතුයි. නමුත් ඉන්දුනිසියාවෙන් ගෙන්වූ ගල් අඟුරුවලින් සියයට 22 ක අළු ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙනවා. මේ හරහා ලක් විජය බලාගාරයේ යන්ත්‍රවලට හානියක් සිදුවෙනවා වගේම විශාල පරිසර හානියක්ද සිදුවෙනවා.

රටට සිදුවුණ පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 2.1ක්

ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව දැන් සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. අදාළ සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.1 ක වන්දියක් ලබා ගන්නා බව දැන් ආණ්ඩුව ප්‍රකාශ කරනවා. වන්දියක් ලබාගෙන මෙම කටයුත්ත සමතයකට පත් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. සිදුවූ හානියට අදාල සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.1 ක වන්දියක් ලබා ගන්නවා නම් එම වන්දිය ලබාගැනීමට තිරණය කළ ආකාරය ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. මෙම ප්‍රමිතියෙන් තොගර ගල් අඟුරු තොගයෙන් සිදුවුණ පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 2.1 ක් බවට නිර්ණායකයන් ගෙනා ආවේ කුමන පදනමක් මත ද? ප්‍රමිතියෙන් තොර ගල්අගුරු තොගය පිළිබඳව විපක්ෂය ප්‍රශ්න කරන විට ආණ්ඩුව විසින් විපක්ෂයට චෝදනා එල්ල කරමින් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වූ සමාගම රකින්න ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වෙනවා. එක්ප්‍රස් පර්ල් නැව අයත් සමාගමෙන් වන්දියක් ලබාගන්නා පසු පසුගිය ආණ්ඩු ප්‍රකාශ කළා. නමුත් අදටත් වන්දි මුදලක් ලබාගෙන නැහැ. අසූචි පොහොර නැව අයත් සමාගමෙන් වන්දි ලබා ගන්නා බව කිව්වත් අවසානයේදී ශ්‍රී ලංකාවට එම සමාගමට වන්දි ගෙවන්න සිදු වුණා. මෙම ගල් අඟුරු ගෙන්වූ සමාගමෙනුත් වන්දි මුදලක් අයකර ගැනීමත් එවැනි සිදුවීමක්ද ? ඒ වගේම ගෙන්වූ ප්‍රමිතියෙන් තොර ගල් අගුරු භාවිතයට ගන්නවාද ? නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් රටට සිදුකළ යුතුයි.

කෝටි තිස්දාහකට අධික වංචාවක් සිදුකරලා

ගෙන්වූ ප්‍රමිතියෙන් තොර ගල් අගුරුවලටත් මුදල් ගෙවලා, එම ගල් අඟුරු ලක් විජය බලාගාරයේ භාවිතයට ගනු ලබනවා. බලාගාරයට නොසුදුසු ගල් අඟුරු ගෙනැවිත් ඒවාට සරිලන ආකාරයේ වන්දියක් අදාළ සමාගමෙන් අය කර ගන්නා බවට බොරු ප්‍රකාශයක් නිකුත් කරලා ප්‍රමිතියෙන් තොර ගල් අගුරුවලට ප්‍රමිතියෙන් යුක්ත ගල් අගුරුවලට ගෙවන මුදලත් ගෙවලා එම ගල් අගුරු භාවිතයට ගන්නවා. ලක්විජය බාලාගාරයේ යන්ත්‍ර සූත්‍ර හිටිහැටියේ අඩපණ වන බව මුළු රට ම දන්නවා. වර්තමාන ආණ්ඩුව මෙම ප්‍රමිතියෙන් තොර ගල් අගුරු ගෙනැවිත් ඒවා බලාගාරයට දැමිමෙන් නැවත බලාගාරයේ යන්ත්‍ර සූත්‍ර අක්‍රිය වෙනවා. ජලයෙන් විදුලිය නිෂ්පාදනය කිරිමේ සිමාවන් තිබෙන නිසා හදිසි මිලදී ගැනිම් යටතේ ඩිසල් බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කරන්න සිදුවෙනවා. ගල් අඟුරු ගෙන්වීම හරහා කෝටි තිස්දාහකට අධික වංචාවක් සිදුකරන්න ඉඩලබාදී එම වංචාව හරහා ගෙන්වූ ප්‍රමිතියෙන් තොගර ගල් අගුරු ලක්විජය බලාගාරයේ භාවිතයට ගන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒ හරහා ලක්විජය බලාගාරයට සිදුවන හානිය පිළිබඳව ආණ්ඩුවට කිසිදු තැකිමක් නැහැ. ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ලක්විජය බලාගාරය අක්‍රීය කරන්න. එලෙස ලක්විය බලාගාරය අක්‍රීය වු විට ඩිසල් මිලදී ගන්න ආණ්ඩුව කටයුතු කරනු ලබනවා.

ගල්අඟුරු වංචාවට අමාත්‍ය මණ්ඩලයම වගකිව යුතුයි

ඩිසල්වලින් විදුලි ඒකකයන් නිෂ්පාදනය කරන්න රුපියල් 120 ත් 130 ත් අතර මුදලක් වැය වෙනවා. ආණ්ඩුව ඩිසල් ගෙන්වීම හරහාත් විශාල මුදල් ප්‍රමාණයක් වංචා කරන්නයි සැරසෙන්නේ. ආණ්ඩුව මේ සෙල්ලම සිදුකරන්නේ රටේ මහජනතාව සමඟයි. මේ ප්‍රශ්නයේ වැරදිකරුවන් වී තිබෙන්නේ මෙම ප්‍රශ්නය දිගින් දිගටම කතා කරන සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂය යි. කෙසේ නමුත් ආණ්ඩුව අවංකභාවයෙන් කටයුතු කරනවානම් මෙම සියලුම වාර්තා රටට හෙළි කරන්න කටයුතු කළ යුතුයි. ආණ්ඩුව අවංකභාවයෙන් කටයුතු කරනවානම් රටට ගෙන්වූ ගල් අගුරුවලට කරන්න යන දේ පිළිබඳව රටට හෙළි කරන්න කටයුතු කළ යුතුයි. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙනැවිත් ඒවා දහනය කිරිමෙන් පිටවන අළු නිසා නොරොච්චෝලය අවට ජනතාවට දැඩි ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට විශාල බලපෑමක් මේ හරහා සිදුවෙනවා. කෙසේ නමුත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමේ වංචාවට අමාත්‍ය මණ්ඩලයම වගකිව යුතුයි. ඒ වගේම මෙම සිද්ධියේ ඇත්ත හෙළි දරව් කරන සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයට චෝදනා එල්ල කරන්නත් එපා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ආණ්ඩුවක් නම් මේ වංචාවන් පිළිබඳව තොරතුරු හෙලි දරව් කරන්න. ජනාධිපතිවරයා බලශක්ති ඇමැතිවරයාට විරුද්ධව වහාම පියවර ගත යුතුයි. බලශක්ති ඇමැතිවරයාට මීට පෙරවත් වංචා දුෂණ සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා. ඔහුට විරුද්ධව කිසිදු පරික්ෂණයක් සිදුවෙන්නේ නැහැ.

දේශපාලන කඳවුර රැකගන්න මුදල් උපයනවා

රටේ බලක්තිය වෙනුවෙන් පසුගිය ආණ්ඩුව දියත් කළ ව්‍යාපෘති නතර කරන්න වර්තමාන ආණ්ඩුවේ සිටින පිරිස් දැඩි උත්සාහයන් ගනු ලැබුවා. පසුගිය රජයන් සිදුකිරිමට යෝජනා කළ බලශක්ති ව්‍යාපෘතිවලට සහාය ලබා දුන්නා නම් මෙවැනි බලශක්ති අර්බුදවලට ශ්‍රී ලංකාවට මුහුණ දෙන්න සිදුවෙන්නේ නැහැ. ආණ්ඩුවේ සිටින පිරිස් ඉතිහාසය පුරාවටම සිදුකළේ රට කඩා වැටෙන්න වැඩ කිරිමයි. ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ දැන් බලය ලබාගෙන සිදුකරන්න තිබෙන විශාලතම වංචා දුෂණ සිදුකරන්න කටයුතු කරනවා. ඔවුන් මේ හරහා ඔවුන්ගේ දේශපාලන කඳවුර රැකගන්න මුදල් ඉපැයීමයි සිදුකරන්නේ. ඒ වගේම ආණ්ඩුවේ වංචා දුෂණ කතාකරන පිරිසගේ කටවල් වහන්නත් ආණ්ඩුව කටයුතු කරනවා. ජාතික ජනබලවේග ආණ්ඩුව 2022 රටේ ඇතිවුණ අර්බුදයට සමාන අර්බුදයක් ඇති කරන්නද උත්සහ කරන්නේ. රටේ ආර්ථිකය ගැන සිතා තින්දු තිරණ ගන්නැයි විපක්ෂය දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ එනිසයි.

ආණ්ඩුවේ නොමනා ක්‍රියා නිසා ඩොලරය ඉහළ ගිහින්

ආණ්ඩුවේ නොමනා ක්‍රියා නිසා ඩොලරය ඉහළ ගොස්, රුපියට පහළ ගොස්, උද්ධමනය වැඩි වී, පොලි අනුපාත වැඩි වී, ආනයනය කරන ඖෂධ ආහාර ගෙන්වා ගැනීමට නොහැකි වී රට අගාධයකට ඇද වැටෙනවා. වංචාවට දුෂණයට ඉඩ ලබා නොදෙන බව කියු ආණ්ඩුව දිගින් දිගටම ජනතාව නොමග යවා වංචා දුෂණ සිදුකරමින් සිටිනවා. කෙසේ නමුත් ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ජනතාව මුළාවට පත් නොකර ගල් අගුරු ගෙන්වු සමාගමෙන් වන්දි මුදලක් ලබා ගන්නවා නම් එම වන්දි මුදල ලබාගන්නේ කුමන අරමුණකින් ද, වන්දි මුදල තක්සේරු කළේ කුමන ආකාරයට ද, වන්දි මුදල තක්සේරු කිරිමෙන් පසු ගෙන්වු ප්‍රමිතියෙන් තොර ගල් අගුරුවලට මහජනතාවගේ බදු මුදල්වලින් ගෙනා මුදල් ප්‍රමාණය කොපමණ ද? ගෙන්වූ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතා කරන්නේ වන හානිය ගණනය කරල ද? මේ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

හැකි ඉක්මනින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය ප්‍රකාශ කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසියාකාරව සිදුකරන ලෙසයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකරන්න ලෙස සමගි ජනබලවේගය ප්‍රකාශ කරලා නැහැ. හැකි ඉක්මනින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ. පළමු වාරයේ නොහැකි වුණානම් දෙවැනි වාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව හැකියාව තිබෙනවා. මොඩියුල ක්‍රමයේ ගැටලුවක් තිබෙන බව ජනාධිපතිවරයා පිළිගන්නවා. ඒ වගේම ගුරුවරුන් නිසියාකාරව පුහුණ කර නැති නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇත්ත හෙළි කළ සජිත් ප්‍රේමදාසට හෝ සමගි ජනබලවේගයට පහර දීමෙන් අධ්‍යාපනයට යහපතක් වෙන්නේ නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැඩි පරිස්සමෙන් සිදුකළ යුතු දෙයක්. ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගත්තේ වැරද්දක් තිබෙන නිසයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ දී රටේ සියලු ම දෙනාගේ අදහස් ලබා ගත යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩුපාඩු රැසක් තිබෙනවා. ඒ අඩුපාඩු සහිතවයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන එන්න ආණ්ඩුව කටයුතු කළේ. කිසිදු අවස්ථාවක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා නොගන්නා බව කියු ආණ්ඩුවට අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්න සිද්ධ වෙලා තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගත්තේ විපක්ෂය නිසා බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කරන්න අධ්‍යාපනඥයින් සම්බන්ධ වෙලත් නැහැ. විද්වතුන් ගේ උපදෙස් ලබාගෙන නැහැ. නමුත් වැඩේ වැරදුනාට පස්සේ විපක්ෂයට එය බැර කරන්න ආණ්ඩුව කටයුතු කරනවා.

ආණ්ඩුවේ බැරිකම වහගන්න විපක්ෂයට චෝදනා කරනවා

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුවක් පත් කරන්න හැකියාව තිබෙනවා. එසේ නැතිනම් තේරිම් කාරක සභාවක් පත් කරන්න ආණ්ඩුව හැකියාව තිබෙනවා. පර්ලිමේන්තුව තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. මේ කිසිවක් ආණ්ඩුව ඒ කිසිවක් සිදුකරලා නැහැ. අධ්‍යාපනය සම්බන්ධයෙන් සිටින විද්වතුන් ගෙන්වා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ආණ්ඩුව කටයුතු කළේ නැහැ. ආණ්ඩුව සියලුම දෙනා දෙස වෛරයෙනුයි බලන්නේ. ඒ නිසයි මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු නොකරන්නේ. ආණ්ඩුවේ බැරිකම වහගන්න විපක්ෂයට චෝදනා කරමින් සිටින එක පමණයි සිදුකරන්නේ.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න