අපි කරන්නෙ විපක්ෂය ප්‍රශ්න කිරීම යි - ශිරාල් ලක්තිලක

අපි කරන්නෙ විපක්ෂය ප්‍රශ්න කිරීම යි - ශිරාල් ලක්තිලක

''දිනන දකුණ'' කතිකාවේ අරමුණ ආණ්ඩුවට පහර ගැසීම නොව විපක්ෂය ප්‍රශ්න කිරීම යැයි දිනන දකුණ සාමූහිකයේ නායක නීතිඥ ශිරාල් ලක්තිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (28) කොළඹ පදනම් ආයතනයේ පැවති විපක්ෂයේ භූමිකාව ගැන රටට අවශ්‍ය සත්‍ය සාකච්ඡාව විවේචනයද? විකල්පද? නැත්නම් වගකිව යුතු බලපෑමක්ද? යන තේමාවෙන් දිනන දකුණ සාමූහිකය සංවිධානය කළ සංවාදශීලී හමුව අමතමිනි.

එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක...

මේ අරඹන්නේ දීර්ඝ කතිකාවක ආරම්භක අවස්ථාව

''මේ කතිකාවේ අරමුණ ආණ්ඩුවට ගහන එක නෙමෙයි. විපක්ෂය ප්‍රශ්න කරන එක. අපි මොකක්ද කරන්නේ ? ඒක තමයි අපේ ප්‍රශ්නය. මේ කතිකාව අදින් ආරම්භ කර ඉදිරියට ගෙනයන කතිකාවක්. මේ කතිකාවේ ආරාධිතයන් ගැන ගොඩක් අය මගෙන් ප්‍රශ්න කරා. මගෙන් ඇහුවා ඇයි මේ අයව තෝරගත්තේ කියලා. වෙන අය හිටියෙ නැද්ද කියලත් ඇහුවා. අපි මේ අරඹන්නේ දීර්ඝ කතිකාවක ආරම්භක අවස්ථාව. එහිදී අපි හිතුවේ ප්‍රධාන කථිකයන් තිදෙනාම, අපි දකුණේ හින්දා අපි හිතුවා, මේ කථිකයන් තිදෙනා තමයි ඊළඟ දශකය නියෝජනය කරන දේශපාලන චරිත කියලා. ඒකෙන් කියන්නේ නෑ අනිත් අය එහෙම නෙමෙයි කියලා. ඉදිරියට තව අවුරුදු දහයක් දේශපාලනයේ යෙදෙන්නට විභවයක් තියෙන පුද්ගලයන් හැටියට තමයි අපි මේ අයව හඳුනගත්තේ.''

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක

ආසියාන් සංවිධානයට බැඳෙන්න ආණ්ඩුව යටින් උත්සාහ ගනිමින් ඉන්නවා

''අපේ අපනයන විවිධාංගිකරණයෙන් අප උත්සාහ කරන්නේ ඈත යුරෝපයට ඈත ඇමරිකාවට යන්න. ආසියන් සංවිධානය තුළ ට්‍රිලියන පහක ආර්ථිකයක් පවතිනවා. අපේ රට කරපු ඓතිහාසික වරදක් තමයි මහාචාර්ය ෂිනෝයි, 1966 දී අපට දුන්න ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ජේ.ආර් බිය වීම.

ඒ සමග ආපු ආසියාන් සංවිධානයට බැඳෙන්න කරපු යෝජනාව ඩඩ්ලි සේනානායක වමට බයේ ක්‍රියාත්මක නොකිරීම. දැන් මේ ආණ්ඩුව යටින් උත්සාහ ගනිමින් ඉන්නවා ආසියාන් සංවිධානයට බැඳෙන්න. කමක් නෑ. දැන් හරි ඒක කරන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ නැගෙනහිර වෙරළෙන්, ත්‍රිකුණාමල වරායෙන්, රට විවෘත කරන එක. බටහිර වෙරළ ඔය තත්ත්වයෙන් ම තියාගෙන. කොළඹට සිට ත්‍රිකුණාමලය දෙසට ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කරන්න; එය නැගෙනහිර වෙරළෙන් තායිලන්තය, කම්පුචියාව, වියට්නාමය, ඉන්දුනීසියාව මියන්මාරය, බංගලාදේශය වැනි රටවල් වලට රට විවෘත කළ යුතුයි.''

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර

අද පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ භූමිකාව කරන්න ඉඩක් නැහැ

''අපි මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කාර්යභාරය කරනවා. මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය දිගහැරෙන්නේ මෙතෙක් කාලයක් තිබුණට වඩා වෙනස් විදිහට. අපි දන්නවා වෙනදා පාර්ලිමේන්තුව තුළ කුඩා විපක්‍ෂයක් බහුතර ආණ්ඩුවක් තිබුණු මොහොතක උනත් විපක්ෂයට කතා කරන්න ඉඩකඩක් තිබුණා. පසුගිය පාර්ලිමේන්තුව දක්වා ඒ ඉඩකඩ තිබුණා. මමත් දැන් අවුරුදු 21 ක් පාර්ලිමේන්තුවෙ ඉන්නවා. මම විපක්ෂය විදිහටත් ආණ්ඩුව විදිහටත් පාර්ලිමේන්තුව තුළ වැඩ කරලා තියෙන නිසා විපක්ෂයට තිබුණු ඉඩකඩ ගැන දන්නවා. නමුත් අද ඒ තත්ත්වය ඊට වෙනස්. අද පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ භූමිකාව කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. විපක්ෂය පාර්ලිමේන්තුව තුළ වැඩකටයුතු කරන්න දෙන්නේ නෑ කියන මතවාදය තමයි හදල තියෙන්නෙ. දෙවනුව පාර්ලිමේන්තුවේ කතානායකවරයෙක් ඉන්නවා, ඒ සඳහා පත්වුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය දන්න පරිණත දේශපාලනඥයෙක්. නමුත් මේ මොහොතේ මේ කථානායක කියන්නේ පෙර එක් වතාවක්වත් පාර්ලිමේන්තු ආපු නැති කෙනෙක්. ඔහු පාර්ලිමේන්තුව හසුරුවන ආකාරය පිළිබඳව අපි හැමෝට ම ප්‍රශ්නයක් තියෙනවා. ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න තියෙන ඉඩකඩ අහුරනවා; නියෝජ්‍ය කතානායකවරයා ඊට වැඩිය හොඳයි , ඔහු හැමෝට ම විනාඩියක් හරි දෙනවා. අදාළ ප්‍රශ්නය කතා කරන්න.''

WhatsApp Image 2026 01 28 at 4.22.25 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න