රටක් ලෙස නවීකරණය විය යුත්තේ, ආර්ථිකය ශක්තිමත් කළ, යුත්තේ සංස්කෘතිය ආගම සමාජයට අනුකූලව මිස ඒවාට පයින් ගසා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය විසින් සංවිධානය කරන ලද තරුණ සමුළුවේ ආරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
ඉතිහාසයේ හැම අරගලයකට ම නායකත්වය දීල තියෙන්නේ තරුණයින්
''රටක් ලෙස නවීකරණය විය යුත්තේ, ආර්ථිකය ශක්තිමත් කළ යුත්තේ, සංස්කෘතිය, ආගම, සමාජයට අනුකූලව මිස ඒවාට පයින් ගසා නෙවෙයි. ආර්ථිකය ශක්තිමත් කිරීමට නව ලෝකයට ගැළපෙන තරගකාරීත්වයට ගැළපෙන ලෙසට තරුණ තරුණියන් සූදානම් කළ යුතුයි. ඒහෙම නැතුව මම අදින ශර්ට් එකේ, මගෙ බබාගෙ ඇදුම් වල ගාන හොය හොයා මඩගහන එක නෙවෙයි. අපි දේශපාලන බලවේගයක් විදියට විශ්වාස කරන කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම රටක් විදියට අපි ගොඩ නැගෙන්න ඕන. ඒ රටක් විදියට අපි ගොඩ නැගෙනව නම් අපේ අන්‍යනයතාවය අපි ආරක්ෂා කරගන්න ඕන. අපේකම අපි ආරක්ෂා කරගන්න ඕන. රටක් නවීකරණය වෙනව කියන්නේ ඒ රටේ සංස්කෘතිය ආගම දහම අතාරිනව කියන එක නෙවෙයි. තමන්ගේ අන්‍යනතාවය ආරක්ෂා කර ගනිමින් නූතනත්වය කරා අපි ගමන් කරන්න ඕන. ඒක නිසා අපි පක්ෂයක් විදියට විශ්වාස කරන්නේ අන්න ඒ නූතනත්වය කරා අපි ගමන් කර යුතුයි; නවීකරණය විය යුතුයි. ඒ හා සමානවම අපේ සංස්කෘතිය අපි විශ්වාස කරන ආගම දහම, සංස්කෘතිය අපි ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ඉතිහාසයේ හැම තිස්සෙම හැම පක්ෂයක්ම තරුණ සංවිධාන තරුණ බලමුළු ගොඩනගල තියෙන්නෙ දේශපාලනිකව. ඒක තමයි යථාර්ථය. ඒ වගේම අපේ ඉතිහාසයේ හැම අරගලයක් ම හැම සටනකටම නායකත්වය දීල තියෙන්නේ තරුණයන්. ඒක එල්ටීටීඊ ත්‍රස්තවාදය වෙන්න පුළුවන්, ඒ ත්‍රස්තවාදය පරාජය කර රට එක්සේසත් කරන්න වෙන්න පුළුවන්, 88,89 කාලය වෙන්න පුළුවන් 83 වෙන්න පුළුවන්. 2021/2022 වෙන්නත් පුළුවන්.
හැම ආණ්ඩුවක් ම කල්පනා කරපු විදිය
මේ හැම කාර්‍යකම තරුණ ගැටලු තරුණ ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන තමයි අරගල ගොඩ නැගෙන්නේ. ඒක ලෝකයේ පොදු කාරණයක්. බංගලාදේශය ගත්තත්, නේපාලය ගත්තත්, ඉන්දුනීසියාව ගත්තත්, මෑත ඉතිහාසයේ අද අපි මේ කතා කරන මොහොතේ ඉරානය වගේ රටවල් ගත්තත්, පහුගිය කාලයේ මැද පෙර දිග රටවල් ගත්තත්, ඇමෙරිකාවේ ගත්තත්, ඒ හැම කාරණයක්ම සිද්ද වෙලා තියෙන්නේ තරුණයෝ කේන්ද්‍ර කරගෙන. ඒ වගේම තමයි හැම අරගලයක ම ප්‍රතිඵලයකින් යම් ඵල විපාකයක් දරනව නම්, ඒ තුළින් රටක් සමාජයක් ආර්ථිකයක් කඩන් වැටෙනව නම්, ඒ කඩන් වැටෙන රටේ සමාජයේ ආර්ථිකයේ විඳවන්න වෙන්නෙත් ඒ රටේ තරුණයන්ට කියල අපි අමතක නොකළ යුතුයි. ඒක ලෝකයේ හැම තැනම පොදු සාධකයක්. ඒ නිසා අපි විශ්වාස කරන්නෙ තරුණයන් මේ රටේ ඊළඟ පරම්පරාවට සුදානම් කළ යුතුය යන කාරණාව. තරුණයා අපි මෙහෙයවනවා නෙවෙයි දේශපාලනිකව තරුණයා මෙහෙය වනවා වෙනුවට දේශපාලන පක්ෂ අනාගතයට සරිලන විදියට සැලැසුම් කරන්න ඕන. අපි ඉතිහාසයේ කර ලොකුම වැරැද්ද තමයි අපි අවුරුදු 5කට ආණ්ඩුවක් අරන් ඒ අවුරුදු පහේ කාල සීමාව කොහොමද ගත කරන්නෙ කියල තමයි හැම ආණ්ඩුවක් ම කල්පනා කරන්නෙ. ඒ හින්ද තමයි අධිවේගී මාර්ග හදනකොට බල්ලො බළල්ලුන්ට පාර මාරු වෙන්න බැහැ කියල මත වාදයක් ගොඩ නැගුණේ.
අපි ස්ථානගත විය යුත්තේ කෙසේ ද...?
හැබැයි කණගාටුවට කාරණය නම් අද වෙනකම් මේ කාරණා විවේචනය කිරීමට ඔවුන්ට හැකියාව තිබුණත් මේවායේ ඵල ප්‍රයෝජනය ගන්නා ආකාරය පිළිබඳව අධ්‍යනය කරගන්න තවමත් අපොහොසත් වෙලා තියෙනව. කොළඹ වරාය නගරය හැදුවේ මූල්‍ය නගරයක් විදිහට. හැබැයි තවමත් අපේ ආණ්ඩුවට හැකියාව ලැබිල නෑ ඒ කාරණය අවබෝධ කරගෙන ලෝකයේ අනිත් රටවල්වලට සාපේක්ෂව ස්ථානගත වෙන්න. කොළඹ වරාය නගරයකට තියෙන අභියෝගය කොළඹ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය නෙවෙයි. කොළඹ වරාය නගරයට තියෙන අභියෝගය බියගම වෙළෙඳ කලාපය නෙවෙයි, කටුනායක වෙළෙඳ කලාපයත් නෙවෙයි. හම්බන්තොට ආර්ථික කලාපයත් නෙවෙයි. හැබැයි කොළඹ වරාය නගරයට තියෙන අභියෝගය කලාපීය වශයෙන් අපේ කලාපයට තියෙන මූල්‍ය නගර එක්ක කොහොමද අපි ස්ථානගත වෙන්නේ කියන එක. එහෙම නම් කොළඹ වරාය නගරයේ අභියෝගය වරාය නගරයේ තරග කරන්නේ සිංගප්පූරුව එක්ක ඩුබායි එක්ක චීනය එක්ක. එතකොට ඉන්දියාවේ අලුතෙන් ෆයිනෑන්සිල් සිටි එකක් හදලා තියෙනවා. අපි ස්ථානගත වෙන්න ඕන අන්න ඒ නගර එක්ක කොහොමද අපි ඊළඟ අවුරුදු විස්ස තිහ ඇතුළත ලංකාව ස්ථානගත කරන්නේ කොහොමද කියන එක.
ගිවිසුම්වලට යා යුත්තේ කෙසේ ද...?
ඉතිහාසයේ අපි පහුගිය එක්කෙනාට වඩා අපේ හොඳට කරා කියන එක අදාළ වෙන්නේ නෑ. හැබැයි අද ලෝකේ කොතන ද තියෙන්නේ, ඒ ලෝකය අපි එක්ක තරග කරන්නේ කවුද, අන්න ඒ තරග කරන තරගකරුවට වඩා ඉදිරියට අපි කොහොමද යන්නේ කියන එක අපිට තියෙන අභියෝගය. එහෙම නැතුව ඉතිහාසයේ අපි අච්චර කරා මෙච්චර කරා අදාළ වෙන්නෙ නෑ අනාගතයේදී. ඒ හින්දා අපි පැහැදිලිව විශ්වාස කරනවා ලෝකයේ නවීන ප්‍රවණතාවයන් එක්ක අපි යා යුතුයි. ලෝකය නවීන ප්‍රවණතාවයන් එක්ක අපි යනකොට අපේ සමහරු හිතනවා සංස්කෘතික වශයෙන් යන ප්‍රවණතාවයන් කියලා. නෑ අපේ හැම රටක් ම තමන්ගේ සංස්කෘතිය ආගම දහම ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්නේ. හැබැයි ලෝකයේ ආර්ථික රටාව ඇතුලේ භූගෝලියව සිදුවන වෙනස්කම් ඇතුළුව අද ලෝකයේ කොතන ද ස්ථානගත වෙන්නේ. කලාපයේ අපට පෙර හිටපුු මිතුරෙක්ව අපි කොහොමද ගනුදෙනු කරන්නේ වගේම අලුත් වෙළඳ ගිවිසුම්වලට බහු පාර්ශ්වික ද්විපාර්ශ්වීය ගිවිසුම්වලට කොහොමද අපි යන්නේ, කොහොම ද ඒවා තුළින් රැකියා උත්පාදනය කරන්නේ...? අසීමිත බදුබර තුළ අලුත් රැකියා උත්පාදනය වෙන්නේ නැහැ. අනවශ්‍ය රෙගුලාසි නීති රීති හඳුන්වාදීම තුළින් රටකට ආයෝජකයෝ එන්නෙත් නැහැ. ඒක අපි පහුගිය අවුරුදු පහේ දහයෙ හොඳාකාරව ම දැක්කා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනාපු සමහර ආයෝජන පිළිබඳව දැඩි විවේචනයක් තිබ්බා. ඒ විවේචනය හරහා එවැනි ආයතන නැවතත් ගෙනෙන් නැතිවෙන්න නීති ගේන්න උත්සාහ කළා. ඒකේ අනිත් විපාකෙ මොකක්ද...? ඊට පස්සේ අද වෙනකන් ලංකාවට ආයෝජකයෝ ආවේ නැහැ.
ජන මනස වෙනස් කරන උපක්‍රමශීලී වැඩපිළිවෙළ
වරාය හදපු කෙනාට බනිනවා. හැබැයි වරායේ කළමකලමනාකරණය කරගන්න බැරිවුණ මිනිහා හොඳ වෙලා හදපු කෙනා වැරදිකාරය වෙලා. ගුවන්තොටුපළ හදපු කෙනා වැරදිකාරයා කරනවා, වී ගබඩා කරපු කෙනා හරි වෙලා. හයිවේ එක හදපු කෙනා වැරදිකාරය වෙලා හයිවේ එකේ ඊළඟ කිලෝමීටර් 37ක් හදාගන්න බැරුව අවුරුදු දහයක් දඟලපු කෙනා හොඳ වෙලා.කිලෝමීටර් 250ක් හදපු කෙනා වැරදිකාරය වෙනකොට 37ක් හදාගන්න බැරිවෙච්ච රටේ ආණ්ඩු හොඳ ආණ්ඩු වෙලා. ඒ තැනට ජන මනස වෙනස් කරන්න සමහරුන්ගේ උපක්‍රමශීලී වැඩපිළිවෙළක් තියෙනවා. ලෝකයේ භූගෝලීය දේශපාලන ඇතුළෙ සමහර රටවලට රටේ සංවර්ධනය දරාගන්න බෑ. ඒක තමයි යථාර්ථය ලෝකයේ කලාපීය රටක් විදියට අපි ගොඩනැගෙන කොට ඒ කලාපීය රටේ ඒ කලාපය ඇතුළත වගේ ම ලෝකයේ අපි ස්වාධීනව අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන එක්සත් ජාතීන් ගේ වෙන්න පුළුවන් මානව හිමිකම් එකේ වෙන්න පුළුවන් සාක් සමුළුවෙ වෙන්න පුළුවන්. අපි හිටගන්නකොට ඒ කාරණා පිළිබඳව වපරැහින් බලන භූගෝලීය දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා. මේ සියලු කාරණාවලට අපි මුහුණ දෙන්න ඕනෙ.
නිර්මාණශීලී ආර්ථිකයකට යා යුතුයි
ඔබ තරුණ පිරිසක් විදියට ඔබ අපේක්ෂා කරන රට ගොඩනගන්න ඔබ විශ්වාස කරන රට ගොඩනගන්න. මේ හැම කාරණයක් ඇතුළෙ ම අපේ රටට ගැළපෙන සහ අපිට හරියන කාරණයට අවධානය යොමු කරගත යුතුයි. එය අද කළ යුතු දේ හෙට කරලා හරියන්නෙ නැහැ. ඒ හින්දා තමයි අපි හැමදාමත් පාර්ලිමේන්තුවේ කියන්නේ ඩිජිටල් පරිවර්තනය මේ ආණ්ඩුවෙන් කළ යුතුමයි. අද තියෙන ඩිජිටල් තාක්ෂණය නෙවෙයි විස්සයි තිහේ තියෙන්නේ. යම්කිසි කෙනෙක් කියනවා නම් අපි විස්සයි තිහේ ආණ්ඩු කරනවා කියලා නෑ එදාට වෙනත් තාක්ෂණයක් තමයි එන්නේ. අද තියෙන ජංගම දුරකථනයේ මාදිලිය නෙවෙයි තව මාස හයකින් තියෙන්නේ. අද අපි ලෝකයේ නිර්මාණශීලී ආර්ථිකයකට යන්න ඕන. ඒ අවකාශය දිනෙන් දෙන ව්‍යාප්ත වෙනවා ලෝකයේත් අපේ රට ඇතුලෙත්.මේ අවකාශය ඇතුලේ ආදායම් උත්පාදනය කරන තරුණ පරම්පරාවක් අපි බිහිකරන්නේේ කොහොමද ඒ අවකාශය ඇතුළේ ව්‍යවසායකයන් අපි බිහිකරන්නේ කොහොම ද, රටේ ව්‍යවසායකයා ව්‍යාපාරිකයෙක් කරන්නේ කොහොම ද, පාසලේ දරුවා ව්‍යවසායකයෙක් බවට අපි පත් කරන්නේ කොහොම ද, මේ කාරණා අපි අද කළ යුතු දේ අද කළ යුතුයි. මෙන්න මේ නිසා තමයි අපි දේශපාලනික කාරණා මොනව තිබ්බත් අපි පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කියන්නේ මේ ආණ්ඩුව තමන් දීපු පොරොන්දු ඉටු කළ යුතු ම යි. කකුලෙන් ඇඳලා ආණ්ඩු වට්ටලා ආණ්ඩු පිහිටුවපු කාලය ඉවරයි. ඒ ඉවර වෙලා තියෙන්නේ සමාජයේ වෙනස් වීම නිසා නෙවෙයි. ඒක ඉවර වෙලා තියෙන්නේ ලෝකයේ ඒ තරම් වේගයෙන් ඉස්සරහට යන නිසා. අද කළ යුතු දේ අද අපි නොකළොත් අපේ වෙළෙඳ පොළ ලෝකයේ වෙන කෙනෙක් ඩැහැගන්නවා.අපේ අවස්ථාව ලෝකයේ තව රටක් ගන්නවා.
අපි ගොඩනගන්නේ අපි බලාපොරොත්තු වෙන රට
අපේ පෝට් සිටිය පරක්කු වෙනකොට කලාපයේ තව රටවල් අද වෙනකොටත් පෝටි සිටිය හා සමාන පෝට් සිටි ආරම්භ කරලා තියෙනවා.එහෙමනම් කොළඹ වරාය නගරයට එන්න තිබිච්ච ආයෝජන ,වරාය නගරෙට එන්න තිබිච්ච ආයෝජන වරාය නගරයට එන්න තිබිච්ච සමාගම් ආයතන, ව්‍යවසායකයෙක්ට අද කොළඹ වරාය නගරයට අමතරව තවත් අවස්ථාවන් තියෙනවා. ඒ නිසා අපි ගනුදෙනු කරන ඉතාමත් තරගකාරී ලෝකයක මිසක් අල්ලපු ගෙදර අය එක්ක හා තරග කරන ලෝකයක නොවේ. ඒ හින්ද අපි පක්ෂයක් විදියට හැම තිස්සේම උත්සාහ කරන්නේ අපි ගොඩනගන්නේ අපි බලාපොරොත්තු වෙන රට. අපි අප අතරම තරග කරනවා වෙනුවට ලෝකයේ තරගකාරීත්වය හා සමානව ඉස්සරහට යන්නේ කොහොමද කියන එක. ඒ හින්දා තමයි ජනාධිපතිවරයා යන්නේ කොහොමද කන්නේ මොනවද අඳින්නේ මොකක්ද හැබැයි අපේ පක්ෂ ඇතුළෙ අපිට ඒවා අදාළ කාරණා නෙවෙයි. මොකද අපි ඊට එහා ගියපු ලෝකයක් අපි දකිනවා.
සංචාරකයෙක් ලංකාවට එන්නේ ලංකාවේ අනන්‍යතාවයට කැමැත්තෙන්
විපක්ෂයේ ඉන්න කෙනා එදා සහෝදරයා අද සර් කෙනෙක් උනා ද, එදා රෙද්දයි බැනියමයි ඇඳපු කෙනා අදට ටයි එකයි කෝට් එකයි අඳිනව ද, ඒ කාරණා අපිට අදාළ දේවල් නොවේ. මොකද අපිට පලු යන්න ඒ කාරණා වලට බැන්නා. මගේ සෙරෙප්පු දෙකේ ගාණෙ ඉඳන් අදින ශර්ට් එකේ පවා ගාණ හැදුවා. ඒ කාලේ. මගේ බබාගෙත් එහෙමයි. තාමත් හදනවා. හැබැයි මට ඒක අදාළ නෑ. මොකද මම දකින ලෝකය ඊට එහා; අපි දකින ලෝකෙ ඊට වඩා වෙනස්. අපි විශ්වාස කරනවා අපේ රටේ තරුණ පරම්පරාව වගේම අනාගත පරම්පරාව ලෝකයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ස්ථානගත වෙන්න ඕනේ. ඒ ස්ථානගත වෙන්න අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට යන්න ඕන. අධ්‍යාපන පරිවර්තනයකට අපි යන්න ඕන. ඒ සංස්කෘතික වශයෙන් ස්ථානගත කිරීමක් නොවේ. ලාංකීය අනන්‍යතාවයක් තියෙනවා. සංචාරකයෙක් ලංකාවට එන්නේ ලංකාවේ අනන්‍යතාවයට මිසක් මහා බ්‍රිතාන්‍යයේ අනන්‍යතාවය බලලා යන්න නෙවෙයි. මහා බ්‍රිතාන්‍ය හෝ ඇමරිකාවේ අනන්‍යතාවය බලලා යන්න ඒ රටට යයි. හැබැයි ලංකාවේ අපේ දේශයේ අනන්‍යතාවයක් තියෙනවා. සංස්කෘතියක් තියෙනවා ඒ අනන්‍යතාව ඇතුළේ. හැබැයි අපි ලෝකයේ ඉහළ පෙළේ තියෙන කාර්මික ජනපද තුළ ආයෝජකයෝ එක්ක තාක්ෂණ පරිවර්තන එක්ක තාක්ෂණ විප්ලව එක්ක ස්ථානගත වෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් අපට අවශ්‍ය වෙනවා.ඒ සඳහා අවශ්‍ය නූතන දරු පරම්පරාවට පෑහෙන්න පුළුවන් දේශපාලන බලවේගයක් අපි ගොඩ නගන්න ඕන.ඒ හින්දා අපේ පක්ෂය තුළ තරුණයාට නිදහස ලැබෙන දේශපාලන පක්ෂයක්.
අපේකම රැකගෙන ඉදිරියට යා යුතුයි
ඒ වගේම අපි තරුණ සංවිධාන තරුණ පෙරමුණ ගොඩනගන්නේ කටවුට් එකට පෝස්ටරයට ෆේස්බුක් එකේ පෝස්ට් එකට කමෙන්ට් දාන්න නෙවෙයි. අපි අවංකව හිතනවා අපේ වගේ හිතන පිරිසක් අපේ එක හා සමානව හිතන පිරිසක් මේ රටේ ගොඩනැගුනොත් තමයි අපි අපේක්ෂා කරන ගමන අපිට යන්න පහසු වෙන්නේ. අපි අපේක්ෂා කරන පරිවර්තනයකට අපට යන්න පහසු වෙන්නෙ.ඒ වෛරයෙන් ක්‍රෝධයෙන් ඉරිසියාවෙන් සිදුවන පරිවර්තනයක් නොවේ. ඒ දයාව කරුණාව ආදරය කේන්ද්‍ර කරගෙන අවංකව මාතෘ භූමිය ගොඩනගන්න අපේකම රැකගෙන ඉස්සරහට යන්න ඕන කියන දැඩි විශ්වාසය මත ගොඩනැගෙන දේශපාලන පරිවර්තනයක්. ඒ හින්දා මම ස්තූතිවන්ත වෙනවා ප්‍රසන්න මන්ත්‍රීතුමාට, රණවීර මන්ත්‍රීතුමාට අද ලංකාවේ තරුණ සම්මේලන පවත්වන්න තීරණය කරපු අවස්ථාවේ කැලණිය ආසනයේ මේ පළවෙනි තරුණ සම්මේලනය පවත්වන්න ඔබතුමා මේ අභියෝගය බාර ගැනීම පිළිබඳව. අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
රටේ තරුණ පරම්පරාව දේශපාලනයට ආ යුතු යි
අද මේ සම්බන්ධ වෙලා ඉන්න තරුණ පිරිස් ඔබ විවෘත මනසකින් මේ රට දිහා බලන්න. ඔබ විවෘත මනසකින් දේශපාලනය දිහා බලන්න. අද සමාජයේ දේශපාලනඥයා කෙරෙහි සමාජය තුළ පෙන්වන ප්‍රතිරූපය හොඳ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ හැම රටකම එහෙමයි. අද අපි විශ්වාස කරනවා රටේ තරුණ පරම්පරාව දේශපාලනයට එන්න ඕන. ඒ දේශපාලනයට එනවා කියන්නේ ඡන්දේ ඉල්ලන කාරණාව නෙවෙයි. හැබැයි දේශපාලනය පිළිබඳව යම් අවබෝධයක් තියෙන්න ඕන. ලෝකයේ දේශපාලන හැසිරීම් රටාව පිළිබඳව යම් අවබෝධයක් තියෙන්න ඕන. ලෝකයේ සිදුවන සිදුවීම පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්න ඕන. ඒ තුළ ඔබට පුළුවන් තීන්දු තීරණ ගන්න අපේ රටේ දේශපාලනය හැසිරෙන්න ඕන රටාව යන කාරණය. යම් කෙනෙක් ඔබ හසුරනවා වෙනුවට ඔබ හිතලා බලලා කියවලා අවබෝධ කරගෙන මේ දේශපාලන තීන්දු තීරණ ගන්න. මේ රටේ තරුණයා තරුණ සංවිධාන පරිවර්තනය කරන්න ඕනෑ කියලා අපි දැඩි විශ්වාසයක් අපිට තියෙනවා.මේ සඳහා ඔබ එකතුවෙන්න අත්වැල් බැඳගන්න කියන ආරාධනයත් එකතු කරමින් ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මා සමුගන්නවා ස්තුතියි...!''

