මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පමා කොට රටේ ආර්ථිකයට විශාල හානියක් සිදු කර ඇත්තේ පඬුකරඳ ගසක් හේතුවක් කරගෙන විරෝධතාවල නිරත වූ පිරිස්
බවත් එම නිසා ආර්ථිකයට සිදුවූ අලාභය ඔවුන්ගෙන් අයකර ගැනීමට ක්‍රියා කිරීම සාධාරණ බවත් මෙම විරෝධතාවයන් පිටුපස සිටි සියළුම දෙනා මේ සඳහා වගකිවයුතු බවත් හිටපු ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.
පඬුකරඳ ගස හේතුවෙන් මධ්‍යම අධිවේගේ මාර්ගයේ ඉදිකිරීම් පමාවීම නිසා අදාල චීන සමාගම රුපියල් මිලියන 980ක වන්දියක් ඉල්ලා ඇත.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසිය.
'' දේවානි මැතිණිය ප්‍රමුඛ පරිසරවේදීන් හා වෙනත් විවිධ බහුජන සංවිධාන තුළින් විරෝධතාවයක් පැමිණීම මත පඬුකරඳ ගහ ඉවත් කරන්න බැරි තත්ත්වයට පත්වෙලා තිබුණා.
මේ පඬුකරඳ ගහ ලංකාවේ දුර්ලභම ශාකයක් කියලා කොහෙවත් කියලා නැහැ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමට නොහැකි වන තත්ත්වයක් උදාවන බවත් එම තත්ත්වය නැති කොට නීතියානුකූලව මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් මං කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් අරන් ගියා.
කැබිනට් මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබා දුන්නා. මේ අනුමැතිය ලබා දුන්නාට පසුව මම අදාල නිලධාරීන්ට දැනුම් දීල එක රැයක් පහන් වෙන විට මේ පඬුකරඳ ගහ කොහෙද තිබුණෙවත් කියල හොයාගන්න බැරි වෙන විදිහට ඉවත් කළා.
ඉන් පසු මධ්‍යම අධිවේගය මාර්ගයේ ඉදිකිරීමට ඉඩ ලැබුණා. නමුත් මෙම විරෝධතා හේතුවෙන් කාලයක් තිස්සේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ නතර වෙලා තිබුණේ.
නමුත් මෙවැනි ව්‍යාපෘති සඳහා සාධාරණ නොවන විවේචන උද්ඝෝෂණ යනාදිය කිරීම තුළින් රටට වෙන අලාභය ආණ්ඩුවට වෙන අලාභය විශාලයි.
ඒ සඳහා අලුතින් වන්දි ඉල්ලල තියෙනවනම් එයට වගකිය යුත්තේ මාර්ග අමාත්‍යාංශයවත්, ප්‍රවාහන අමාත්‍යාංශයවත්, මාර්ග සංවර්ධන අධිකාරියවත් නෙමෙයි.
උද්ඝෝෂණ කිරීම තුළින් මෙය නැවැත්වීම සඳහා රජයට පාඩු කිරීම සඳහා මැදිහත් වෙච්ච දේවානි මැතිණිය ප්‍රමුඛ අනිත් ප්‍රධානීන් කවුද කියන එක සාධාරණ විමර්ශනයක් කරලා ඒ පිළිබඳව අධිකරණමය ක්‍රියාමාර්ගයක් අරන් වන්දි ලබා ගැනීමට ඉඩ තිබෙන බවයි මාගේ අදහස.
විපක්ෂයේ ඉන්න අවස්ථාවේදී විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සියලුම මහා පරිමාණ ව්‍යාපෘතිවලට විරෝධතා දක්වල තියෙනවා.
උදාහරණයක් වශයෙන් ලංකාවේ එතෙක් පැවති විශාලතම ආයෝජනය වන පෝස්ට් සිටි ව්‍යාපෘතිය.
ඒ සඳහා පැවතුණු විරෝධය නිසා වසර එකහමාරක් යනතුරු සම්පූර්ණයෙන්ම පෝස්ට් සිටි ව්‍යාපෘතිය නතර වෙලා තිබුණා .
ඒ පමා වීමේ හේතුව නිසාවෙන් ඒ සඳහාද අපිට විශාල වන්දියක් ගෙවන්න සිදුවුණා .''

